ප්‍රෙමලාල් විජේරත්න
ඒඩ්ස් වයිරසය (එච්.අයි.වී.) ශරීර ගතවී ඇති ගැබිනි කාන්තාවන්ගෙන් එය මෙලොව එළිය දැකීමට සිටින බිලිඳුන්ට වැලැඳීම වැළැක්වීම සඳහා ඒ.ආර්.ටී. ප්‍රතිකාර ක්‍රමය මෙරට රෝහල්වල ව්‍යාප්ත කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය දා නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති අන්තර්ජාතික සෞඛ්‍ය සම්මන්ත්‍රණයේදී නිර්දේශ කොට තිබේ.
එම සම්මන්ත්‍රණයට සහභාගි වූ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කෙළේ ඒ සඳහා තාක්ෂණික සහාය සහ යුනිසෙෆ් ගෝලීය අරමුදල යටතේ ලෝක බැංකු ආධාර ලබා දීමටද එහිදී එකඟත්වය පළකර ඇති බවයි.
මේ වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ප්‍රධාන රෝහල්වල ප්‍රථමයෙන්ම ආරම්භ කොට අනෙකුත් රෝහල්වලද ව්‍යාප්ත කොට 2017 වනවිට එය සෑම රෝහල් සහ මාතෘසායනවල ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කරගෙන යන බවද වෛද්‍ය සිසිර ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.
ගැබිනි මව්වරුන්ගේ සිපිලිස් නමැති රෝගය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණය සඳහා ලේ සාම්පල් ලබා ගැනීමේදී එම සාම්පල් අතරින්ම ලේ වෙන්කරගෙන එම පර්යේෂණය සිදුකළ හැකි බවද ඒ මහතා පැවැසීය.
මේ ක්‍රියාමාර්ගය කඩිනමින් ක්‍රියාත්මක කිරීමෙන් එච්.අයි.වී. වයිරසය බිලිඳුන්ට බෝවීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට හැකි වන බවද ඔහු සඳහන් කෙළේය.