මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඉන්දියානු පොලිසියට කොටුවී එහි බන්ධනාගාරගතවී සිටින 'කුඩු නන්ද' නමැති ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රුපියල් හැටලක්‍ෂයක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සති දෙකකට වරක් ශ්‍රී ලංකාවට එවීමේ රහස් ජාවාරමක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හෙළිකරගෙන තිබේ.
ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසුවේ එවැනි අන්දමට මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය බෙදාහරින කාන්තාවක සහ තවත් සැකකරුවෙක් පසුගියදා අත්අඩංගුවට ගත් බවයි. ඉන්දියාවේ බන්ධනාගාරගත වී සිටින එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බන්ධනාගාරයේ සිට අන්තර්ජාතික දුරකතන සබඳතා මඟින් ජගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී එම මත්ද්‍රව්‍ය මෙරටට එවීමේ යෙදී සිට ඇති බවද හෙළි වී තිබේ.
එම ජාවාරම්කරුගේ මෙරට සිටින කිට්ටු ඥාතීන් කොළඹ අවට ප්‍රදේශ කීපයක පිහිනුම් තටාක සහිත සුඛෝපභෝගී නිවෙස් මිලදීගෙන ඇති බවද පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ. ඉන්දියාවේ සිට හොර රහසේ මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය මෙහිදී බෙදාහරිනු ලබන රහසිගත පුද්ගලයන්ගේ ජාලය පිළිබඳ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තොරතුරු හෙළිකරගෙන තිබේ.