-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බස් එකක් එනතුරු බස් හෝල්ට් එකේ සිටි මා පසුකරගෙන ගිය කාරයක් එක්වරම බ්‍රේක් ගැසූ සද්දයෙන් මම පියවි ලොවට පිවිසුණෙමි. මා දුටුවේ මා දැක කටපුරා සිනාසෙමින්, අතින් සන් කරමින් කාරෙක දෙසට මා කැඳවන සමන්තය. මමත් කඩිමුඩියේ ගොස් කාර් එකේ ඉස්සරහ ආසනයේ හිඳ ගත්තෙමි. සමන්ත ගියර් මාරු කොට ගමන ආරම්භ කළේය.

“කොහොමද සනා වැඩ කටයුතු. කාලෙකින් බියර් එකක්වත් ගහන්න බැරි වුණා නේද?” සමන්ත මගෙන් ඇසීය. මට මතක හැටියට අපි එකට වාඩි වී බීර බොන කාලයේ සිසිල් කළ බීර බෝතලයක මිල රුපියල් හැටක් පමණි. දැන් එය තුන් ගුණයකින් පමණ ඉහළ ගොස්ය.

රථය ඉදිරියට යන අතර මට නිරීක්ෂණය වූයේ පසුගිය කාලයේ ෆුල් ඔප්ෂන් සුසුකි ස්විෆ්ට් රථයකින් ගමන් බිමන් කළ සමන්ත අද පදවන්නේ නිකම්ම නිකං මැනුවල් මරුටියකි.

“මොකද මචං, කාර් එක මාරු කළාද?” මම ඇසුවෙමි.

“මාර සීන් එකනේ සනා, මම ළඟ තිබුණේ අපේ කොම්පැනි එකෙන් දුන්න කාර් එකනේ. ගිය මාසෙ කම්පැනි එක පාඩුයි කියල ඔක්කොම එක්සෙකටිව්ස්ලට දීලා තිබුණු කාර් ටික ආපහු අරගෙන, ඒවා විකුණුවනේ. ඊට පස්සෙ මරුටි කාර් ටිකක් කුලියට ගත්තා.”සමන්ත කීවේය.

බණ පොතේ තියන හැටියට ඉස්සර කාලයේ මිනිස්සු නිකංම නිකං රස පොළොව කා ජීවත්වූ අතර, මිනිසුන් පොළොව කෙරෙහි ලෝභ වීමත් සමග එකී රස පොළොව අතුරුදහන් වී ඇත. ඉන්පසුව උදා වී ඇත්තේ, මේ කාලයේ ගොටුකොළ, මුකුණුවැන්නා වැවෙන්නා සේ පොළොවේ ඇල් වී වර්ග ඉබේ වැවෙන කාලයයි. මේ ඉබේ වැවෙන ඇල් වීවලට කියන්නේ ස්වයංජාත ඇල් වී කියාය. පසුගිය කාලයේ මෙසේ ස්වයංජාත ඇල් වී මෙන් නැගලා ගිය සමන්තලාගේ කොම්පැනියට මෙසේ දුර්දශාවක් එළැඹී ඇත්තේ කොහොමදැයි මා තුළ ඇති වූයේ කුකුසකි.

“ඇයි මචං, උඹලගෙ කොම්පැනිය පහුගිය කාලේ නැගල ගියා නේද?”මම ඇසුවෙමි.

සමන්තලාගේ කොම්පැනිය වනාහි රෝහල් සහ සෞඛ්‍ය සේවාවන්ට අදාළ උපකරණ පිටරටින් ආනයනය කොට බෙදා හරින සමාගමක් බව ඔහු මට කියා තිබුණේය. මෙසේ ආනයනය කරන උපකරණ සාමාන්‍ය මිනිසුන් විසින් වෙළෙඳපළෙන් මිලදී නොගන්නා අතර ඒවා මිලදී ගන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය විසිනි. නීතියේ ආධිපත්‍යය හරියට ක්‍රියාත්මක වන රටක නම් එවැනි උපකරණ මිලදී ගැනීම සඳහා විධිමත් ටෙන්ඩර් පටිපාටියක් පවතියි. එහෙත් අපි කවුරුත් දන්නා ආකාරයට, ලංකාවේදී සිදුවන්නේ විෂය භාර ඇමැතිවරයාගේ සිට අදාළ නිලධාරීන් දක්වා පිරිසකට දොළ පිදේනි දීමෙන් බව සමන්ත මට කියා ඇත. එක්තරා උපකරණ තොගයක් මිලදී ගැනීම අනුමත කරවා ගැනීම සඳහා එවකට සිටි සෞඛ්‍ය ඇමතිවරයාට සියලු වියදම් සහිතව ප්‍රංශ සවාරියක් ලබාදීමට තම කොම්පැනිය ක්‍රියා කළ බවද වරක් ඔහු මට කීවේය. නීතියේ ආධිපත්‍යය ඇති රටක නම් මෙවැනි සිදුවීම් පිළිබඳ අල්ලස් හෝ දූෂණ ක්‍රියා විමර්ශනය කරන කොමිසන් සභාවට පැමිණිලි කළ හැකි නමුත් අපේ රටේ කොමිසම කරන්නේ තෝරු මෝරු අත හැර හාල්මැස්සන් ඇල්ලීමය.

කොහොම වුණත් මේ ක්‍රමය යටතේ සමන්තලාටත්, ඔවුන්ගේ කොම්පැනියටත් පාඩුවක් සිදු වුණේ නැත. තමන්ගේ කුට්ටිය ලැබෙන නිසා ඇමතිවරයා මෙන්ම නිලධාරීන්ද රාජ පාක්ෂිකය. සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය කිරීම හෝ සේවකයන් අස් කිරීම හෝ සිදු නොවන නිසා සේවක වෘත්තීය සමිතිද සතුටිනි. මහජනයාට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ නිසි කලට වේලාවට ලැබී නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා වූ නිසා මහජනයාටත් සතුටුය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන මේ සිදුවීම සමාන කළ හැක්කේ ගමේ පාරවල්වලට කොන්ක්‍රීට් අතුරා ‛පාරක් හදමු- පාරෙන් හැදෙමු’ සංකල්පය යටතේ හැමදෙනාම සතුටු වන්නා සේය. සියලු දෙනාම සතුටින් සිටින නිසා ‛රට බෙදන – රට විකුණන’ යූ. ඇන්. පී. එක පමණක් නොව රට විකිණීමට සහ රට බෙදීමට විරුද්ධව දිවි පරදුවට තබා සටන් කරන ජේ. වී. පී. යද කුජීත කරමින් මහින්ද චින්තනය දිගටම ඡන්දවලින් දිනයි.

මේ වගේ කිරියෙන් පැණියෙන් ඉතිරෙමින් ගත කළ ලාංකික ජීවිතය පැණි වරකා ගහටත් හෙණ ගසන්නා සේ අවුල් වී ඇත්තේ ඇයි? සමන්තයා ස්විෆ්ට් එකේ සිට මරුටියට වැටුණේ ඇයි?
“ඇත්තටම මොකද මචං කොම්පැනිය හිරවුණේ?” මම ඇසුවෙමි.

“සෞඛ්‍ය අමාත්‍යාංශය ටෙන්ඩර් අරවා මේව ගැන ප්‍රශ්න නැතුව අපි ගෙන්වන උපකරණ ගත්තා. ඒව ලංකාව පුරාම තියෙන රෝහල්වලට දැම්මා. අපිත් ඉතින් බිස්නස් එක දියුණු කළා. අලුතෙන් ඔෆිස් එකක් ගත්තා. විධායක නිලධාරීන්ට වාහන දුන්නා. බෝනස් දුන්නා. අපිට තේරුණා යුද්දෙ ඉවර කරපු නිසා අපිට අලුතෙන් වෙළෙඳපොළක් විවෘත වුණ බව. ඉතින් යාපනේ අලුත් බ්‍රාන්ච් එකකුත් දැම්මා.” සමන්ත කියයි.

“ඉතිං කොහොමද මේ ඔක්කොම කණපිට ගැහුවේ?”මම ඇසුවෙමි.
“ආණ්ඩුව බඩු ගන්නෙ ණයට නේ. අපි ඉතිං ආණ්ඩුවට බඩු විකුණන්නේ නැතිව පේමන්ට් එකේ විකුණන්නද? ඒ නිසා අපිත් බැංකු ණය අරගෙන දිගටම බඩු ගෙනැල්ල දැම්ම. ටිකෙන් ටික ආණ්ඩුව අපට ගෙවන්න තියෙන ණය මුදල් වැඩි වෙන්න පටන් ගත්තා. අපි බැංකුවලට ගෙවන්න තියෙන පොළී සල්ලි පැටව් ගහන්න ගත්තා. අපි දැන් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ. බඩු සප්ලයි කළොත් ණය වැඩි වෙනවා. සප්ලයි එක නැවැත්තුවොත් කොම්පැනිය වැටෙනවා. අන්තිමේදි අමාත්‍යංශෙන් අපට එන්න තියෙන හිඟ චෙක් අරගන්නත් එක නිලධාරියෙකුට කොමිෂන් එකක් දෙන්න වුණා. මේ වගේ ප්‍රශ්න නිසයි අපි හිරවුණේ. අදටත් ආණ්ඩුවෙන් අපට එන්න තියෙන සල්ලි ටික සම්පූර්ණයෙන් ලැබෙනව නම් අපි ගොඩ.” සමන්ත විස්තර කළේය.

පසුගිය කාලයේ ආණ්ඩුව විසින් රටේ මහජන දේපළ විකුණන්නේත් නැතිව, යුද්ධයකුත් කරමින් රට සංවර්ධනය කළ බවද, ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක තබා ගත් බවද බොහෝ දෙනා කියති. එසේ කියා කලින් තිබුණු ආණ්ඩුවලට සහ ඒවායේ නායකයන්ට බැණ වදිති. ආර්ථික වර්ධනයට දායක වන කර්මාන්ත අංශය දියුණු වූයේ ඉදිකිරීම් අංශයෙනි. ඒ සඳහා විශාල වශයෙන් යන්ත්‍රෝපකරණ ආනයනය කිරීම සිදු විය. සේවා අංශයේ වර්ධනය සිදුවූයේ ආනයන වෙළෙඳාම හේතුවෙනි. එයට දායක වී ඇත්තේ අපේ සමන්තලාගේ කොම්පැනිය වැනි ව්‍යාපාරිකයන්ය. මේ සියල්ලටම ගෙවන ලද්දේ ආණ්ඩුවෙනි. ආණ්ඩුව එසේ ගෙවන ලද්දේ ගිනි පොළියට ණය ගැනීමෙනි. දැන් සමන්තලාගේ කොම්පැනිය ඇතුළු කොම්පැනි හිරවී ඇත්තේ මේ ණය උගුලේය. එයට සමන්තලාගේ ජීවිතත් හිරවී ඇතිවා වාගේය.

මරුටිය ඉදිරියට ඇදෙයි. අපි ටිකෙන් ටික කොළඹ පැත්තට ළඟා වෙමු.

“දැන් නම් මේ ජොබ් එක ෂුවර් නැහැ. අපේ මාකටිං මැනේජරයවත් ළඟදි අස් කළා. මමත් වෙන ජොබ් එකක් හොය හොයා ඉන්නෙ” සමන්ත කියයි.

“ඒක නෙවෙයි, දැන් දැන් දේශපාලනේ මොනවද වෙන්නෙ?”සමන්ත ගියර් මාරු කරන ගමන් කථාවද මාරු කළේය. ස්විෆ්ට් රථයේ මෙන් ස්වයංක්‍රීය ගියර මාරුවීමක් නැති මරුටියේ ගියර අතින් මාරු කළ යුතුය. පසුගිය කාලයේ නම් සමන්තලා කිව්වේ තමන්ට දේශපාලනය වැඩක් නැති බවත්, තමන් හම්බ කරගත්තොත් තමන් කන බවත්ය. ඡන්දය ආණ්ඩුවට දුන්නේ රට වෙනුවෙන් බව කී ඔවුහු අපටත් එසේ කරන ලෙස උපදෙස් දුන්හ.

“කෝ මේ ඕගොල්ලන්ගෙ සිවිල් සමාජය කිසිම වැඩක් නෑනෙ. ඔයාල ඉන්නවද නැද්ද කියලවත් නෑ. ඔයාලත් හරියට විපක්ෂය වගේ කිසි වැඩක් නෑ. ආණ්ඩුව පිස්සු කෙළින කොට හරි මාර්ගෙට ගන්න එක විපක්ෂෙටයි, සිවිල් සමාජෙටයි පැවරෙන වගකීමක් නේ. මිනිස්සු නම් ඔයාලගෙ වැඩ ගැන එච්චර ප්‍රසාදයක් නෑ.” සමන්ත කියයි.
දැන් බලාගෙන යනකොට සමන්තත් දේශපාලනික වී ඇත.

“දැන් බලන්නකො, වයඹ පළාතෙයි මධ්‍යම පළාතෙයි ඡන්ද තිබුණා, රටේ ජනතාවට මෙච්චර ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට විපක්ෂයට බැරි වුණානේ තරගයක් දෙන්න.”ඔහු කීවේ බොහෝ දේශපාලන විචාරකයන් මෙන් උතුරේද ඡන්දයක් පැවැත්වුණු බවත් ඒ ඡන්දෙන් ආණ්ඩුව ගූ ගහන්න පැරදුන බවත් නොදන්නා විලසිනි. “මේවා සේරටම හේතුව මම නම් කියන්නේ රනිල් වික්‍රමසිංහගෙ නායකත්වය කියල. මෙච්චර ඡන්ද පැරදිච්ච එකේ මේ මනුස්සය අස්වෙල යන්නෙ නැතුව තවමත් ඉන්න එකෙන් තමයි යූ.ඇන්.පී එක ගොඩ ගන්න බැරි.”සමන්ත කියයි.

“හරි මචං, දැන් උඹ මේ පාර ඡන්දෙ දුන්නෙ කාටද? මම අන්තිමේ සමන්තගෙන් ඇසුවේ ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයකු බව මට සිහි වූ හෙයිනි. 2004 දී බුලත් කොළයට ඡන්දය දී අනුර කුමාරට සහ බිමල්ට මනාප ගැසූ ඔහු 2005 සහ 2010 දී දෑත ශක්තිමත් කොට 2010 මහ මැතිවරණයේදී කළගුණ සලකන්නට ජොනීට මනාපය දුන් බව මම දනිමි. “මම මචං දුන්නෙ දයාසිරිට. වැඩියත්ම එහෙම කළේ මට ජොනීලගෙ අසාධාරණ වැඩ පෙන්නන්න බැරි නිසා උන්ට හොඳ පාඩමක් උගන්නන්නයි” සමන්ත කීවේ ඇඟට පතට නොදැනීය

සුදර්ශන ගුණවර්ධන

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos