-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ආන්දොලනාත්මක චරිතයක් වන මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා සහ ඔහුට නොදෙවැනි ආන්දෝලනාත්මක චරිතයක් වන මාලක සිල්වා යළි මහජන අවධානය නමැති කරළියට පිවිස සිටී.
එහෙත් මෙවර කනිෂ්ඨ සිල්වා වෙනුවෙන් වාසනා චක්‍රය අතින් අතට කැරැකී ඇති බව පෙනේ. සාමාන්‍යයෙන් අනුන්ට පහර දෙන කනිෂ්ඨ සිල්වාට පසුගියදා කොළඹ ප්‍රධාන පෙළේ වෙළෙඳ ව්‍යාපාරික ස්ථානයක රථ ගාලේදී නොහඳුනන මැරවරයන් පිරිසක් හොඳහැටි පහරදී ඇතැයි කියති.


පසුගියදා එසේ පහරකෑමට ලක්වූ කනිෂ්ඨ සිල්වා සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදුණු අප සහෝදර 'සිලෝන් ටුඩේ' පුවත්පත ඔහුට පහරදීම, ප්‍රධාන පෙළේ දේශපාලන ප්‍රවාහයට ඇතුළු වීමට ඔහු අල්ලන ඉව සහ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය අංශ කෙරෙහි ඔහු තුළ ඇති විරසකය ආදිය පිළිබඳ ඔහුගෙන් විමසන ලදී. මාලක සිල්වා සමඟ මුහුණට මුහුණලා සාකච්ඡාවක් පැවැත්වීමට ඉල්ලීමක් කරන ලද නමුත් ඊට ඉඩදීමට ඔහු අකැමැති විය. ඔහු කැමති වූයේ 'ඊ-මේල්' මඟින් පැවැති සම්මුඛ සාකච්ඡාවකටය.


එසේ 'ඊ-මේල්' ඔස්සේ ඔහුගෙන් විමසන ලද ප්‍රශ්න කීපයකට ඔහු දුන් පිළිතුරුවල සිංහල අනුවාදය සැකෙවින් මෙසේය.


ඔබේ ද්විතීය අධ්‍යාපනය ඔබ ලැබුවේ කෙහේදිද?
ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේදීය.


ඔබ අ.පො.ස. සා.පෙළ සහ උසස් පෙළ විභාග සමත් වුණාද? එහෙම නැත්නම් ඔබ ඒ දෙකම අසමත් වූ බවට පැතිර ඇති ආරංචිය ඇත්තද?

මගේ විභාග ප්‍රතිඵල දැනගන්නට ඔබට වුවමනා නම් ඔබ ඒ ප්‍රශ්නය අන්න ඕනෑ ඒ වැරැදි තොරතුරු දුන්න කෙනාගෙන්. ඊට හේතුව ඔහු මගේ ප්‍රතිඵල ලැයිස්තුව පැහැදිලිවම දකින්න ඇති නිසයි. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මම වාඩි වුණ සෑම විභාගයකින්ම මම සමත්වී තිබෙනවා.


ද්විතීයික අධ්‍යාපනය හමාර වීමෙන් පසුව ඔබ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණාද? එහෙම නම් ඔබේ අධ්‍යාපන සුදුසුකම් මොනවද?

මම ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න යන්නෙ නැහැ. ආරම්භයේදී මගේ අධ්‍යාපන සුදුසුකම් ගැන මා දීපු උත්තරය ප්‍රමාණවත් කියලයි මා සිතන්නේ. මම ඔයගොල්ලන්ගේ ආයතනයෙන් රැකියාවක් ඉල්ලනවා නෙවෙයිනේ. එහෙම නම් තමයි මම ඔබට රැකියා ඉල්ලුම් පතක් (සී.වී.) මඟින් ඒ විස්තර ඉදිරිපත් කළ යුතු වන්නේ.


ඔබේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව කවර හෝ ආයතනයක ඔබ රැකියාවක් ඉල්ලුවාද?
ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටිමි.


විවිධ ආරංචිමාර්ග කියන විදියට ඔබ වෙළෙඳ ව්‍යාපාරික කටයුතු රාශියක නියැළී සිටින හැඩයි. ඔබ දැනට නියැළී සිටින වෙළෙඳ ව්‍යාපාර මොනවාද?
මා කුඩා කල සිටම මෝටර් රථවලට ආසයි. ඒ නිසා මම දැනට මෝටර් වාහන මිලදී ගැනීමේ සහ විකිණීමේ කටයුතුවල යෙදී සිටිනවා. ඒ වගේම අපේ රට සංවර්ධනය කිරීමට කැමැති පිටරැටියන් මා මෙහි ගෙන්වා ඔවුන් දේශීය වෙළෙඳ සහකරුවන්ට මුණගස්සනවා.


ඔබට තියෙන්නේ නාස්තිකාර ආසාවන්ලු. ඒ වගේම ඔබට සුඛෝපභෝගී යානවාහන ගණනාවක්, උදාහරණ වශයෙන් ලැම්බෝගිනි හා ෆෙරාරි වාහන තියෙනවලු. ඔබට අයිති සුඛෝපභෝගී වාහන මොනවද? ඒවායේ වටිනාකම් මොනවද?

මම ලැම්බෝර්ගිනි, ෆෙරාරි වැනි සුඛෝපභෝගී මෝටර් රථ තියෙන කෙනකු හැටියට මවලා තියෙන පින්තූරය හරිම විනෝදජනකයි. මට ඒ එකම වාහනයක්වත් නැහැ. ඒවා එකක්වත් කවදාවත් මා සන්තකයේ තිබිලත් නැහැ. ඒ වුණත් මා ළඟ වෙනත් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ තියෙනවා. ඒවායේ වටිනාකම් මෙහෙමයි කියල මා ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඊට හේතුව මට ඒවා කවදාකවත් විකුණන්න වුවමනාවක් වෙන්නෙ නැති නිසයි.


සුඛෝපභෝගී මෝටර් රථ රාශියක් ඔබ සන්තකයේ තිබෙන බව ඔබ පිළිගත්තා. කවුද ඒවා ඔබට සල්ලි ගෙවලා අරගෙන දුන්නේ?
මට කවුරුවත් මෝටර් රථ මිලදී අරගෙන දෙන්න වුවමනා නැහැ. ඒවා මටම මිලදීගන්න තරම් හැකියාවක් තියෙනවා.


කොළඹින් බැහැර අෑත එපිට ගම්මානයක ඉපදුණ ඔබේ පවුල ප්‍රාතිහාර්යයකින් මෙන් මිල මුදල් රැස් කරගෙන ඔබ මෙහෙම සුඛෝපභෝගී මෝටර් වාහන මිලදී ගැනීමට තරම් ආර්ථික සවියක් ලබාගෙන තිබෙනවා. ඔබත් ඔබේ පවුලත් සතුව ඇති මේ වස්තු සම්භාරය රැස්කර ගත්තේ කොහොමද?

ඔබ කියන විදියට මගේ පවුල කෝටි සංඛ්‍යාත වත්කම් රැස්කරගෙන නැහැ. මට ඇත්තටම හිනා යනවා අපි කෝටිපතියන් බවට මිනිසුන් අප ගැන හිතාගෙන සිටින අන්දම ගැන අහලා. මට මේ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. මගේ වෙළෙඳ කටයුතුවලින් සැපපහසු ජීවිතයක් ගතකරන්න ප්‍රමාණවත් මුදලක් මා උපයනවා.


ඔබේ පියා කිසි දිනෙක විධායක නිලධාරියකු ලෙස රැකියාව කරලා නැහැ. ඔහු දේශපාලනයෙහි නියැළුණා පමණයි. එහෙම නම් ඔබේ පවුල මේ වස්තු සම්භාරය රැස්කරගත්තේ දේශපාලනයෙන්ද?

ඔබ මේ කතා කරන්නේ මොන වස්තු සම්භාරයක් ගැනද? මා අවසාන වරට පරීක්‍ෂා කර බලද්දී දැනගන්නට ලැබුණේ අපේ පවුලට දස ලක්‍ෂපතියෝවත් කෝටිපතියෝවත් නොහිටි බවයි.


විපක්‍ෂයේ ඇතැම් දේශපාලනඥයෝ කියන හැටියට ඔබත් ඔබේ පවුලත් ඔය වස්තු සම්භාරය රැස්කරගත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම ඔස්සේ බවයි. මෙම බිහිසුණු අපරාධ ගැන ඔබට චෝදනා කරන විපක්‍ෂයේ දේශපාලනඥයන් ගැන ඔබට කියන්න තියෙන්නෙ මොනවද?

මම මේ ප්‍රශ්නයට එක එල්ලේ උත්තරයක් දෙන්නම්. වැඩි අෑතකදී නෙවෙයි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැද කොළඹ තරග කිරීමට මගේ පියා පත් කළා.

දේශපාලනඥයකු වුණාම ඔබ හමුවීමට ආ යුත්තේ කවුද? නැත්තේ කවුද? කියලා ඔබට තෝරා බේරාගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. දේශපාලනඥයන් කියන්නේ මහජනතාවගේ සේවකයෝ. ඒ නිසා දේශපාලනඥයන් සැමවිටම තැත් කරන්නේ තමන්ගේ ජන ප්‍රජාවගේ අවශ්‍යතාවන් ඉටු කරන්නයි. ඒ කාලෙදි සෑම තරාතිරමකම මිනිසුන් තාත්තා හම්බවෙන්න එන්න ඇති. ඒ අතර මත්කුඩුවලට ඇබ්බැහිවූවන් හෝ මිනීමරුවන් හිටින්න ඇති. ඒත් ඔවුන් තාත්තා හමුවීමට ආවාට ඉන් අදහස් කෙරෙන්නේ නැහැ නීති විරෝධී කිසිවක් කරන්නට මගේ තාත්තා ඔවුන්ට අනුබල දෙන්න ඇතැයි කියලා.


සුඛෝපභෝගී යානවාහන පිළිබඳ ඔබ තුළ ඇති නාස්තිකාර රුචිකත්වයට අමතරව කොළඹ රාත්‍රි සමාජ ශාලා ජීවිතයටත් ඔබ ඇලුම් කරන හැඩයි. ඒ නිසා ඔබ නිතර රාත්‍රි සමාජ ශාලා සහ බාර්වලට යන එන බව පේනවා. ඔබ පී්‍රතිසාද රාශියකට සහභාගි වීමට කැමැතිද?

මමත් වෙනත් හාදයො වගේම තමයි. මම තවම තනිකඩයෙක්. මගේ වයසෙ වෙනත් හාදයන් වගේම මමත් ගෙදරින් පිට ගිහින් විනෝද වෙන්න කැමැතියි.


මේ පී්‍රතිසාදවලදී ඔබ මත්පැන් බොනවාද?

මම මධ්‍යස්ථ වශයෙන් බොනවා. ඒ ප්‍රතිපත්තිය මගේ ජීවිතයේ වෙනත් අංශ රාශියකදීත් මා පිළිපදිනවා. මා කිසිම දෙයක් අන්තවාදී මට්ටමින් කරන්නෙත් නැහැ. හිතුවක්කාර ලෙස කටයුතු කරන්නෙත් නැහැ.


ඔබේ පියා මත්පැන් බොන ලෙසත් රාත්‍රි සමාජ ශාලාවලට යන ලෙසත් ඔබ දිරිගන්වනවාද?

පී්‍රති සාදවලට යෑමට තාත්තාගෙන් අවසර ගැනීමට තරම් ළමාවියක නෙවෙයි මා දැන් ඉන්නේ. මගේ ජීවිතයේ මට ඕනෑ දෙයක් කරන්න මගේ පියා මගේ ජීවිතයේ එක්තරා වයසකදී මට නිදහස දුන්නා.


ඔබ හඳුනන අය අතර, විශේෂයෙන් රාත්‍රියේ ඔබේ නිවෙසින් පිට ගමන්වලට සහභාගි වන විදේශීය කාන්තාවන් රාශියක් ඔබට ඉන්න හැඩයි. ඔබේ පියා රෑට ළමිස්සියන් ගෙදර එක්කගෙන එන්න ඔබට ඉඩ දෙනවද?

මට මිතුරොත් මිතුරියොත් රාශියක් ඉන්නවා. ඒ හැම දෙනාටම අපේ ගෙදර ඕනෑම වෙලාවක ‍ෙදාර විවෘතයි. ගෙදරදී මගේ මිතුරු මිතුරියන් පිළිගැනීම වරදක් යැයි මා හිතන්නේ නැහැ. මා ඒක කරන්නේ නරක අරමුණින් නෙවෙයි. ඒ නිසා එහි නුහුරු නුපුරුදු ගතියක් මට නම් පෙනෙන්නෙ නැහැ.


ඔබත් ඔබේ 'මිතුරනුත්' මෙම රාත්‍රි සමාජ ශාලාවලදී නිතර රණ්ඩුසරුවල්වලට පැටලෙන බවටත්, විනෝද වන්නන්ට කී විටකදී අතින් පයින් පහරදුන් බවටත් චෝදනා එල්ල වෙනවා. ඔබ ඇසුරු කරන අන්දමේ මිතුරු මිතුරියන් කණ්ඩායමට ඔබේ පියා කැමැතිද?

මා සැමවිටම මගේ ක්‍රියාකාරකම්වල වගකීම පිළිගන්නවා. මගේ මිතුරු මිතුරියන් වෙනුවෙන් පිළිතුරු දීමට අයිතියක් මට නැහැ. ඊට හේතුව ඒගොල්ලන්ටම කියලා සිතක් තිබීමයි. ඒගොල්ලො රොබෝවරුන් නෙවෙයි. අනාගතයේදී දේශපාලනයට ඇතුළු වෙන්න මා සැලසුම් කරලයි තියෙන්නේ. ඉතින් මා ඇසුරු කළ යුත්තේ කවුරුන්ද කියලා තෝරා බේරාගන්න මට ඉඩක් නැහැ. මම සෑම තරාතිරමකම මිනිසුන් සමඟ ආශ්‍රය කරනවා. එහි කිසි වරදක් ඇතැයි මා දකින්නේ නැහැ. මගේ මිතුරු මිතුරියන් තෝරාගැනීමේ නිදහස මට මගේ පියා ලබා දී තියෙනවා. ඉතින් ඒ අය සමඟ මට හොඳයි කියලා හිතෙන විදියට මා ඇසුරු කරනවා.


විදේශීය කාන්තාවන් රාශියක් සහ ඔබ වටා ගැවසෙන නිළියන් සමඟ ඔබ 'සෙල්ලක්කාරයකු' ලෙස හැසිරෙන බව පේනවා. මේ පිරිස එසේ ඔබ සමඟ ඇසුරු කරන්නේ ඔබේ මුදල් නිසා පමණකැයි ඔබට සිතෙනවාද?

මිනිස්සු මට 'සෙල්ලක්කාරයා' යැයි කියනවා. මම සමහර අවස්ථාවලදී ඒ ඇයි කියලා කල්පනා කරනවා. මා කලින් ඔබට කිව්වා වගේ මා සෑම තරාතිරමකම මිනිසුන් සමඟ ආශ්‍රය කරනවා. සමහරක් නිළියන් හෝ විදේශිකයන් හෝ විය හැකියි. මා ඉතා මිත්‍රශීලී පුද්ගලයෙක්. මා ඒ විදියට හැදී වැඩුණේ.


ඔබට ස්ථීර පෙම්වතියක් සිටිනවාද?

එය මා විසින් දැනගත යුත්තක් සහ බාහිර ලෝකය විසින් සොයා දැනගත යුත්තක්!


ප්‍රධාන පෙළේ වෙළෙඳ ව්‍යාපාරික ස්ථානයක රථ ගාලේදී පසුගියදා ඔබට පහර දෙනු ලැබී යැයි කියනවා. ඔබට පහරදුන්නේ කවුද?

ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න මට බැහැ. ඊට හේතුව ඒ සිද්ධිය පිළිබඳ පොලිසිය දැනටමත් විමර්ශනයක් කරගෙන යෑමයි. පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි මා තුළ ඇත්තේ අසීමිත විශ්වාසයක්. පහර දුන් පිරිස කවුරුදැයි හෙළිදරව් කරගැනීමට පොලිසිය විසින් ගත හැකි උපරිම උත්සාහයන් ගනු ලබන බවට මා විශ්වාස කරනවා.


පළමුකොටම ඔබට පහර දෙනු ලැබුවේ ඇයි?

නිශ්චිත හේතුවක් මා දන්නේ නැහැ.


ඔබ මීට කලින් කිසියම් අයුරකින් ඔබේ ප්‍රහාරකයන් ඔබ විසින් ප්‍රකෝප කරනු ලැබූ බවට ආරංචියක් තියෙනවා. ඒ නිසාලු ඔවුන් ඔබට පහර දුන්නේ. මෙය අහඹු ලෙස එල්ල වූ ප්‍රහාරයක් ලෙසද ඔබ සලකන්නේ? නැත්නම් සැබවින්ම ඔබ ඒ රණ්ඩුවට මුලපිරුවද?

ඔබ මේ ප්‍රශ්න අහන රටාව දෙස බැලුවාම මම දන්නවාට වඩා වැඩි යමක් ඔබ මේ ප්‍රහාරය ගැන දන්නා බව මට සිතෙනවා. එබැවින් මම ඔබෙන් කාරුණික ඉල්ලීමක් කරන්නම්. මේ ගැන ඔබ දන්නා දෙයක් අදාළ පොලිස් ස්ථානයට ගිහින් කියා ඔවුන්ගේ විමර්ශන කටයුතු හමාර කිරීමට ඔබට උදව් කරන්න පුළුවන්. එය ඔබ මට කරන විශේෂ උදව්වක් ලෙස ඔබ විසින් ඉටුකරනවා නම් මා ඉතා සතුටුයි.


ඔබේ පියා පසුගියදා ජනමාධ්‍යවලට මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. ඔබට පහරදුන් පුද්ගලයන්ට එරෙහිව ගත යුතු පියවර ඔහු ගන්නා බවයි ඔහු කීවේ. එහි තේරුම කුමක්ද?
මගේ පියා ඒ විදියෙ ප්‍රකාශයක් කළා නම් ඔබ ඒ ප්‍රශ්නය අහන්න ඕනෑ ඔහුගෙන් විනා මගෙන් නෙවෙයි.


ඔබ වෙත ප්‍රචණ්ඩ හා පළිගැනීමේ චර්යා රටාවක් ඇති බව පෙනෙනවා. ඔබේ ප්‍රහාරකයන්ට එරෙහිව පළිගැනීමටත් ඔවුන්ට පෙරළා පහරදීමටත් ඔබ බලාපොරොත්තු වෙනවාද?

මම දැඩි බෞද්ධයෙක්. බුදුන් වහන්සේ අපට දේශනා කොට වදාළ ප්‍රතිපත්ති හා දර්ශනය මා පිළිපදිනවා. බුදුන් වහන්සේගේ කියමනක සිංහල අනුවාදය වන 'වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන් වෛරය සන්සිඳේ' යන පාඨය ගෙනහැර දක්වමින් මා ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම හමාර කරනවා.


මෙම ප්‍රහාරයේදී ඔබ ලැබූ තුවාල මොනවාද?

හොඳයි මා ඔබට ඒ තුවාල ගැන කිව්වත් ඔබ මෙහි පැමිණ ඒ තුවාල ඉක්මනින් සුවකර ගැනීමට ඔබ මට උදව් වෙනවාද?


ඔබ වටා සැමවිටම ශරීරාරක්‍ෂකයන් හා ආරක්‍ෂකයන් හමුදාවක් සිටිනවා. මේ සිද්ධිය වෙද්දී ඔබේ ශරීරාරක්‍ෂකයන් සිටියේ කොහේද?
මම යන එන තැන මගේ ශරීරාරක්‍ෂකයන් රැගෙන යන්නේ නැහැ. මා නිදහස ඇලුම් කරනවා. සමහරු හිතන්නේ මම සැමවිටම ශරීරාරක්‍ෂකයන් මා යන එන තැන රැගෙන යමින් මිනිස්සු බියවද්දන බවයි. නමුත් මේ සිද්ධියේදී එය බොරුවක් බව ඔප්පු වුණා.


ඔබ ඇමැතිවරයකු තබා දේශපාලනඥයකුවත් නෙවෙයි. එසේ තිබියදී ඔබ වටා ඇමැති ආරක්‍ෂක අංශයේ ශරීරාරක්‍ෂකයන් බුරුතු පිටින් සිටින බවයි ආරංචිවලින් දැක්වෙන්නේ. ඒ ආරංචි බොරු යැයි ඔබ කියා සිටිනවද?

මම ඔය ප්‍රශ්නෙට කලින් උත්තර දුන්නා.


කිසිදු තාර්කික හේතුවක් නොමැතිව අහඹු ලෙස සාමාන්‍ය වැසියන්ට නිතර පහර දෙන බවට ඔබට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. ඔබ විසින් වෙනත් අයට එල්ල කරන ලද ප්‍රහාර සංඛ්‍යාව දෙස බලද්දී ඔබට එල්ල වූ ප්‍රහාරය 'එකට එක කිරීමක්' ලෙස සැලකීම සාධාරණ යැයි කිව නොහැකිද?

මා පුද්ගලයන්ට පහර දෙන බවට මිනිසුන් චෝදනා කරන්නේ ජනමාධ්‍යවලින් කියවීමෙන් හෝ දැකීමෙන් පසුවයි. ඕනෑම ජන සමාජයක කෙනකු වරදකරු යැයි ඔප්පු වනතුරු නිවැරැදිකරුවෙක්. අවස්ථා දෙකකදී මා රක්‍ෂිත බන්ධනාගාර ගතකෙරුණා. මට විරුද්ධව නඩු විභාග කීපයකුත් තිබෙනවා. රටේ නීතියට මම සැමවිටම ගරු කරනවා. මා කිසිදු වැරැදි ක්‍රියාවකට වරදකරුවකු වී නැහැ. බල අධිකාරින් විසින් මා නිර්දෝෂකරු යැයි ප්‍රකාශ කරනු ලැබීමෙන් පසුව මට විරුද්ධව චෝදනා කිරීමට ඇතැම් පුද්ගලයන් සතු අයිතිය කුමක්ද?


ඔබ පහරකෑමට ලක්වූ නමුත් ජනමාධ්‍ය ඔබ කෙරෙහි සානුකම්පිතභාවයක් දක්වන්නේ නැහැ. ඇතැම් ජනමාධ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඔබේ අතීත ක්‍රියාවලට මෙම පහරදීම කිසියම් ප්‍රතිවිපාකයක් වන බවයි. මෙම පහරදීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔබට අසාධාරණ ලෙස සලකනවා යැයි ඔබ සිතනවාද?

ජනමාධ්‍ය පිට පිටම මට පහර දෙන අන්දම ගැන මා දැඩි ලෙස කනගාටුවට පත්ව සිටිනවා. ජනමාධ්‍ය අංශ මගේ නම සඳහන් කරන්නේ මා කරදරයක වැටුණාම විතරයි. එහෙත් මගේ හොඳ වැඩ ගැන ඔවුන් කිසිවක් කතා කරන්නේ නැහැ. මා හිතන්නේ මෙය මා හැඩගැසිය යුතු මගේ දිවියේ එක්තරා මුහුණතක් බවයි. මගේ මාධ්‍ය මිතුරන් සැමගෙන්ම මා එක කාරුණික ඉල්ලීමක් කරන්න කැමැතියි. ඇත්ත වාර්තා කරන්න. එමෙන්ම ඇත්ත කුමක්දැයි දැන ගැනීමට ඔබට කළ හැකි උපරිමය කරන්න.


ජනමාධ්‍ය ආයතන හා පුවත්පත් ගණනාවක් ඔබ ගැන සඳහන් කරන්නේ 'ඇමැති පැංචා' (ථඪදඪඵබපඪචත ඡපචබ) යනුවෙන්. එය සාධාරණ අදහස් දැක්වීමක් යැයි ඔබ සිතනවාද?
ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් ජනමාධ්‍ය නිදහසක් නැති බවට ඇතැම් පුද්ගලයන් මොනවා කිව්වත් මාධ්‍ය නිදහස සුලබව මෙහි තියෙනවා. ඒ නිසා පුවත්පත් වාර්තාකරුවන්ට තමන්ට කැමැති ඕනෑම දෙයක් ලියන්න කියන්න ඉඩක් ලැබී තිබෙනවා. ඊට හොඳම උදාහරණය තමයි මේ සම්මුඛ සාකච්ඡාව. දැන් බලන්න මා නොකළ බොහෝ දේවල් පිළිබඳ ඔබ මට චෝදනා කළා. එනිසා ඔබේ ප්‍රශ්නයට මෙය නිසි පිළිතුරක් වනු ඇතැයි මා සිතනවා.


ඔබේ පියා ආන්දෝලනාත්මක ඇමැතිවරයකු නිසා ජනමාධ්‍ය ඔබට අසාධාරණ ලෙස සලකනවා යැයි ඔබ සිතනවාද?
මා සිතන්නේ මා සාමාන්‍ය පුද්ගලයකු වුණා නම් මේ කිසිවක් සිදුනොවනු ඇති බවයි.


ඔබේ ප්‍රචණ්ඩකාරී චර්යාව නිසා අවස්ථා ගණනාවකදී ඔබට ලැබුණු නිෂේධනාත්මක ප්‍රචාරය දෙස ආපසු හැරී බලද්දී ඔබ සිතනවාද ඔබේ පියා දේශපාලනයට නොපිවිසුණා නම් හොඳයි කියා?

සැමවිටම මගේ පියාගේ සිහිනය වුණේ මහජනයා සමඟ රැඳී සිටිමින් ඔවුන්ගේ හෘද ස්පන්දනයට සවන් දීමයි. ඉතින් පුතකු හැටියට සැමවිටම මට පුළුවන් හැටියට ඔහුට සහයෝගය දැක්වීමට හැකි පමණින් මා ක්‍රියා කළා.


අවුරුද්දකට පමණ කලින් යුද හමුදා මේජර්වරයකුට පහර දුන් බවට ඔබට චෝදනාවක් එල්ල වුණා. එහෙත් අවසානයේදී ඔබ ඉන් ගැලවුණා. මේ විදියට අසීරු අවස්ථාවලදීත් ගැලවීමට පුළුවන් 'සිල්වා රහස' අප සමඟ බෙදාගැනීමට ඔබ කැමැති නැද්ද?

මම අධිකරණයය දැඩි සේ විශ්වාස කරනවා. අධිකරණය විසින් ගනු ලබන ඕනෑම තීරණයකට මා ගරු කරනවා. එවැනි ප්‍රශ්න අසා අධිකරණයට ඔබ අගෞරව කළාට මා එසේ කරන්නට කැමැති නැහැ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week