මැලේසියානු නිලධාරීන් කිහිපදෙනෙකු ඉලක්ක කර එල්ලවූ සයිබර් ප‍්‍රහාරයක් මගින් මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානාවේ අතුරුදන් වීම පිළිබඳ රහසිගත දත්ත සොරාගෙන ඇතැයි අනාවරණය වී තිබේ.
මැලේසියානු ගුවන්සේවය, සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව හා ජාතික ආරක්ෂක කවුන්සිලය තුළ සේවය කළ නිලධාරීන්ට අයත් පරිඝනක 30ක් පමණ මෙම ප‍්‍රහාරයට ගොදුරු වී ඇතැයි පැවසේ.
යානාව අතුරුදන්වීමෙන් දිනකට පසුව මාර්තු 9වනදා PDF ඇමුණුමක් අඩංගු ඊ මේල් පණිවුඩයක් මෙම නිලධාරීන් වෙත ලැබී ඇති අතර එමගින් පරිඝනකවල තිබූ රහසිගත ලිපි ලේඛන ඊ මේල් හරහා චීනයේ අයි.පී ලිපිනයක් වෙත යොමු කර ඇතැයි සොයාගෙන තිබේ.
මැලේසියානු සයිබර් ආරක්ෂණ ආයතනයේ ප‍්‍රධාන විධායක අමිරුද්දීන් අබ්දුල් වහාබ් පවසා ඇත්තේ මෙම රහසිගත දත්ත අතර රැස්වීම් වල වාර්තා සහ රහසිගත ලිපි ලේඛන ආදිය අඩංගුවී ඇති බවයි.
මෙයින් සමහරක් MH370 යානාව අතුරුදන් වීම පිළිබඳ පැවැත්වූ විමර්ශනය හා සම්බන්ධ බවද ඔහු පවසා තිබේ.
යානාව අතුරුදන් වීම පිළිබඳව මැලේසියානු රජය සතු තොරතුරු ප‍්‍රසිද්ධියට පත් නොකරන බවට ඒ දිනවලදී චෝදනා එල්ලවූ බවත් එලෙස රහසිගතව තබාගෙන ඇතැයි සැලකුනු තොරතුරු ලබාගැනීම සඳහා චීනය විසින් ගත් පියවරක් ලෙස මෙම සයිබර් ප‍්‍රහාරය එල්ලවීම සැලකිය හැකි බවත් අබ්දුල් වහාබ්ගේ අදහසයි. ගුවන් යානා අනතුරින් චීන ජාතිකයන් 153 දෙනෙකු අතුරුදන් විය.