-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ මූලික නීතිය වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව නඩු පැවරීමකට ලක් නොවී සිටීමේ මුක්තිය ඇත්තේ ජනරජයේ ප‍්‍රධානියා වන විධායක ජනාධිපතිවරයාට පමණය. විධායක ජනාධිපතිවරයාගේ බිරිඳ දූ දරුවන් ඇතුළු සහෝදර සහෝදරියන්ට නඩු පැවරීමකට ලක් නොවී සිටීමේ මුක්තිය ඇති බවක් එහි සඳහන් වන්නේ නැත.

නීතියේ සඳහන එසේ වුවද ශ‍්‍රී ලංකා ජනරජයේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට අමතරව ඔහුගේ ඥාති මිත‍්‍රාදීන්ටද නඩු නොපැවරීමකට ලක් නොවීමේ මුක්තිය පසුගිය කාලය පුරා නීත්‍යනුකූල ආකාරයට මෙන්ම නීත්‍යනුකූල නොවන ආකාරයටද ලැබුණු බව රහසක් නොවේ.

මේ ආකාරයට නඩු පැවරීමකට ලක් නොවී සිටීමේ අලූත්ම කතාව ගැන විවිධ ආරංචි පැතිර යන්නට වූයේ මීට සති කිහිපයකට පෙරදීය. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අල්ලස් චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලද නඩුවක් ඉල්ලා අස්කර ගැනීමක් සම්බන්ධයෙන්ය. චෝදනාවට ලක්වූ පුද්ගලයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහරගම නැගෙනහිර කාර්යාලයේ තක්සේරුකරුවකු වන යසලාල් සමරසිංහ දිසානායකය. ඔහු ජනාධිපතිවරයාගේ ඥාති සහෝදරයෙකු බව වෙබ් මාධ්‍ය මෙන්ම සමහර විකල්ප මාධ්‍යද ප‍්‍රකාශ කර තිබුණි. මෙතෙක් එම ඥාතිත්වය කවුරුන් හෝ ප‍්‍රතික්ෂේප කර නැත. රාවය කළ කරුණු සොයාබැලීමකදී හෙළිවූයේද දිසානායක නම්වූ ඥාති පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂට සිටිනා බවය. මේ දිසානායකලාගෙන් සමහරු රාජ්‍ය ආයතනවල තනතුරු දරන අතර සමහරු දේශපාලනඥයන් වශයෙන් කටයුතු කරමින් සිටිති.

ඉල්ලා අස්කරගත් අල්ලස් නඩුවේ කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමේදීද පෙනෙන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නඩුව සම්බන්ධයෙන් යම් බලපෑමක් එල්ල වී තිබෙන බවය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු අනුව අතුරුගිරිය, පෝරේ, අංක 175හි පදිංචි, තොග හා සිල්ලර වෙළඳාමේ යෙදෙන ලංකා ස්ටෝර්ස්හි හිමිකරු වන රසාංග ලංකා පත්බේරිය යන අය 2013.10.12 දින එම කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. පැමිණිලිකරු එම පැමිණිල්ලෙන් කියා ඇත්තේ ඊට පෙර මාසයේ 07 වන දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහරගම නැගෙනහිර කාර්යාලයෙන් ලිපියක් එවා තිබූ බවත්, පැමිණිලිකරු විසින් ඒ දක්වා ගෙවා ඇති ජාතිය ගොඩනැගීමේ බදු හා ව්‍යාපාරය නමින් බැංකුවේ පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් පිළිබඳ විස්තර රැුගෙන දින 10ක කාලයක් තුළ එම කාර්යාලයේ තක්සේරුකරුවකු වන යසලාල් සමරසිංහ දිසානායක හමුවන ලෙස දැනුම් දී තිබූ බවත්ය.

ඒ අනුව පැමිණිලිකරු 2013.09.20 දින ලිපියේ සඳහන් ලේඛනද රැුගෙන එම කාර්යාලයට ගොස් දිසානායක නමැති නිලධාරියා හමුවූ බවත්, එම නිලධාරියා පරිගණකයෙන් ලබාගත් දත්ත ලබාගෙන පැමිණිලිකරු රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් බදු වශයෙන් ගෙවීමට ඇති බව පැවසූ බවත්ය. තමා එතරම් බදු මුදලක් ගෙවීමට නොමැති බව පැමිණිලිකරු පැවසීමෙන් පසු නැවතත් නිලධාරියා ගණනය සිදුකර එම බදු මුදලම ජාතිය ගොඩනැගීමේ බදු වශයෙන් ගෙවීමට ඇති බව නැවත පවසා ඔහු විසින් සකස් කරන ලද ලේඛන කිහිපයකට අත්සන් තබන ලෙස දැනුම් දුන් බවය. එයට එකඟ නොවූ පැමිණිලිකරු පසුදිනෙක පැමිණෙන බව පවසා ආපසු පැමිණ ඇති අතර පසුව පැමිණිලිකරු සැප්තැම්බර් 26 දින කාර්යාලයට ගොස් දිසානායක නමැති අදාළ නිලධාරියා හමුවී ඇත. එම අවස්ථාවේදී නිලධාරියා පැමිණිලිකරුගේ බදු නැවත ගණනය කර බදු වශයෙන් රුපියල් පනස් ලක්ෂ පනස්දාහක් ගෙවීමට ඇති මුදල බව පවසා ලේඛනයක් දී නම ලියා අත්සන් කරන ලෙස දැනුම් දී ඇත. ලක්ෂ දහයක් ගෙවීමට බැරි තමා ලක්ෂ පනහක් ගෙවන්නේ කෙසේද යනුවෙන් එහිදී පැමිණිලිකරු විමසා ඇති බවත්, එයට අත්සන් කිරීමට බැරිනම් ඊට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවිය හැකි බවට නිලධාරියා පැවසූ බවත් එවිට පැමිණිලිකරු එයට බියවී එම ලේඛනවලට අත්සන් යෙදූ බවත්, පසුව මුදල පැමිණිලිකරුට ගෙවීමට බැරි බව ඔහු දන්නා බව දිසානායක නම් නිලධාරියා පැවසූ බවත් එකඟතාවකට පැමිණේ නම් කොළය අයින් කර දමන්නට පුළුවන් බව පැවසූ බවත්, අමතරව දුරකතන ඇමතුමක් ලබාදෙන ලෙස පවසා එම නිලධාරියාගේ ජංගම දුරකතන අංකය සඳහන් කොළ කැබැල්ලක් ද ලබා දුන් බවත්ය.

ඉන්පසු පැමිණිලිකරු දුරකතන අංකයට ඇමතුමක් ලබාගැනීමේදී අත්සන් කරන ලද කොළ ගලවා වෙනත් ගණනක් ඇති කොළයක් ඇතුළත් කළ හැකි බව නිලධාරියා පැවසූ බවත්, ඒ සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් ඉල්ලූ බවත් එම මුදල එක වරකදී ගෙවීමට බැරි නිසා දෙවරකදී ගෙවීමට ඉඩ ලබාදෙන ලෙස පැමිණිලිකරු ඉල්ලූ බවත් එසේ කළ නොහැකි බව නිලධාරියා පැවසූ බවත්ය.

පැමිණිලිකරු ඒ සම්බන්ධයෙන් 2013.10.12 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන ලද බවත් කොමිෂන් සභාවෙන් ලද නියෝගය අනුව 2013.10.17 දින පැමිණිලිකරු සමග උපාය දූතයකු වශයෙන් කොමිෂන් සභාවේ බලය පැවරූ නිලධාරී කාන්තා පොලිස් කොස්තාපල් 3000 සුරංගනී නමැත්තිය සැකකාර නිලධාරියා හමුවීමට පිටත් කර හැරි බවත්, එම හමුවේදී ඉල්ලන ලද රුපියල් ලක්ෂ පහක මුදල රුපියල් ලක්ෂ හතර දක්වා අඩුකර රැගෙන එන ලෙසට දැනුම් දී ඇති බවත්ය.

ඒ අනුව පැමිණිලිකරු සහ පොලිස් නිලධාරිනිය 2013.10.25 දින සැකකාර නිලධාරියා හමුවී ඇති අතර එදින රාජකාරි බහුල නිසා ආ යුතු දිනය දුරකතන ඇමතුමක් මගින් දැනුම් දෙන බව පවසා පැමිණිලිකරුගේ දුරකතන අංකය ඉල්ලාගෙන ඇති බවත් පසුව 2013.10.28 දින පැමිණිලිකරුට දුරකතනයෙන් කතා කර ඇති සැකකාර නිලධාරියා 2013.10.30 දින මුදල් ද රැුගෙන ඔහු හමුවීමට ඔහුගේ කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා ඇති බවත්ය. එම දැනුම්දීම අනුව පැමිණිලිකරු හා උපාය දුත පොලිස් නිලධාරිනිය පැමිණිලිකරු හමුවීමට ගොස් රුපියල් ලක්ෂ හතරක අල්ලස් මුදල ලබාදී ඇති අතර එම අවස්ථාවේදී අල්ලස් චෝදනා මත සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් දිනම සැකකරු මහේස්ත‍්‍රාත්වරයා හමුවට පමුණුවා ඇති අතර අල්ලස් වශයෙන් ලබාදී අත්අඩංගුවට ගන්නා ලද සලකුණු කළ රුපියල් ලක්ෂ හතරක මුදල්ද මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කර ඇත. ඒ අනුව සැකකරු මහේස්ත‍්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර එම නඩුව නැවත කැඳවා ඇත්තේ 2013.11.13 දිනදී ය. එදින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට දන්වා ඇත්තේ සැකකරු සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවය. එමෙන්ම එදින සැකකරුට ඇප ලබාදී ඇත. 2014.02.05 දින කොමිසම නැවත අධිකරණයට කරුණු වාර්තා කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ විමර්ශන අවසන් කර ගොනුව නීති අංශය වෙත යොමුකර ඇති බව හා සැකකරු සම්බන්ධයෙන් කොමිෂන් සභාව ගනු ලබන තීරණය වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය.

තවද 2014.02.18 දින සහිතව නඩුවේ කාර්ය සටහන්වල සඳහන් වී ඇත්තේ අදාළ නඩුවේ පැමිණිලිකරු වන රසාංග ලංකා පත්බේරිය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති වෙත 2013.11.23 දිනැතිව යවන ලද දිවුරුම් ප‍්‍රකාශයේ සත්‍ය බවට සහතික කරන ලද පිටපතක් අධිකරණය වෙත එවා ඇති බවයි. අවසාන වශයෙන් 2014.06.18 දින අධිකරණයට කරුණු වාර්තා කරමින් කොමිසම ප‍්‍රකාශ කර ඇත්තේ සැකකරුට විරුද්ධව අල්ලස් පනත යටතේ නඩු නොපැවරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව යසලාල් සමරසිංහ දිසානායක යන පුද්ගලයාට එරෙහි චෝදනා අහෝසි වී අල්ලස් කොමිසම දැරූ උත්සාහය අහෝසි වී ඔහු නිර්දෝෂී පුද්ගලයකු බවට පත්වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලැබී පසුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ දිවුරුම් ප‍්‍රකාශය විමර්ශනය කිරීමේදී අපූරු කරුණු ඉන් හෙළිදරව් වන්නේය.

පළමුවෙන්ම එය දිවුරුම් ප‍්‍රකාශ ආකෘතියෙන් මිදුණු කොමිසමේ සභාපතිවරයාට ලියන ලිපියක් ලෙස සැලකීම උචිතය. එහි ලිපිය එවන්නා විසින් ඔහුගේ නම ලිපිනය ආදිය සඳහන් කරමින් කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත. මහත්මයාණෙනි යනුවෙන් ආමන්ත‍්‍රණය කරමින් දිවුරුම් ප‍්‍රකාශයයි යන්න මාතෘකාව වශයෙන් යොදා ඇත. එමෙන්ම රුක්මලේ ධම්මකිත්ති නායක ස්ථවිර විසින් සහතික කරන ලද දිවුරුම් පෙත්සමක්යැ’යි සඳහන් එහි අවසානයේ පිටපත් යනුවෙන් සඳහන් කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාටද පිටපතක් යොමුකර ඇත.

දිවුරුම් ප‍්‍රකාශයයැ’යි සඳහන් එම වාක්‍ය තුනක කෙටි ලිපියේ පැමිණිලිකරු කියන්නේ එකම එක කරුණක්ය. ‘ඒ මෙම ලිපිගොනුව සම්බන්ධයෙන් කරන ලද සාකච්ඡුාවේදී මාහට ඇතිවූ මානසික පීඩනය හේතු කොටගෙන එසේ පැමිණිලි කළා වුවත්, මින් ඉදිරියට මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට මාහට අවශ්‍යතාවක් නොමැති බවට දිවුරා ප‍්‍රකාශ කරමි’ යන්නය.

දිවුරුම් ප‍්‍රකාශයයැ’යි කියන එම ලියවිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් කොමිසම නොකියා කියන දෙය නම් ඔවුන්ට කරන්නට දෙයක් නැහැ යන්නය.

ඒ නිසාම රටේ තෝරු මෝරුන්ගේ අල්ලස් හෝ දූෂණ ගැන ඇහ හැරිලාවත් නොලබන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හාල්මැස්සෙක්යැ’යි සිතා අත්අඩංගුවට ගත් පුද්ගලයාටද තෝරු මෝරුන් සමග සම්බන්ධතා ඇතැ’යි දැනගන්නට ලැබුණු විට කරන්නට සිදුවන්නේ නීතියට පටහැනි මෙවැනි දේවල් මිස නීතියට අනුකූල දේවල් නොවේය යන්න මින් තවදුරටත් ගම්‍ය වන සත්‍යයය.

සාක්ෂිකරුගේ කැමැත්ත අකමැත්ත  නඩුවට බලපාන්නේ නෑ - ජනාධිපති නීතිඥ ශ‍්‍රීනාත් පෙරේරා

යම්කිසි පුද්ගලයකුගේ පැමිණිල්ලක් අනුව නඩු පැවරුවාම එය රජයත් විත්තිකරුත් අතර නඩුවක් බවට පත්වෙනවා. එහිදී පැමිණිලිකරු සාක්ෂිකරුවෙක් පමණයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සම්බන්ධයෙන් ගත්තත් එය යම්කිසි නඩුවක් පැවරුවාම රජයේ නඩුවක් බවට පත්වෙනවා. බැලූ බැල්මට සාක්ෂි තියෙනවාද නැද්ද කියලා බලලා තමයි මෙවැනි ආයතන නඩු පවරන්නේ. එහිදී සාක්ෂි අහිමිවීමකදී පමණයි නඩුවක් ඉල්ලා අස්කරගත හැක්කේ. සාක්ෂි අහිමිවීම යනු සාක්ෂිකරුවන් මරණයට පත්වීම හෝ විදේ්ශගත වීම යන හේතුයි. නැතහොත් සාක්ෂිකරු බවට පත්වන පැමිණිලිකරුගේ කැමැත්ත අකමැත්ත එයට බලපාන්නේ නැහැ.

ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව නඩු පැවරීමක් සිදුකළහොත් විත්තියේ නීතිඥ මහත්වරුන්ට පුළුවන් නීතිපතිතුමාව මුණගැහිලා එම නඩුව සඳහා සාක්ෂි නැහැ කියලා කරුණු ඉදිරිපත් කරන්න. එහිදීත් නීතිපතිවරයා සෑහීමකට පත්නොවනවා නම් නඩුව ඉල්ලා අස්කර නොගත යුතුයි. යම් නඩුවක් අධිකරණය හමුවට ගියාම අධිකරණයෙන් තමයි එය විසඳිය යුත්තේ.

කොමිසමෙන් පිළිතුරු නැත

මෙම නඩුව ඉල්ලා අස්කර ගත්තේ ඇයිද යන්න පිළිබඳව රාවය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති හිටපු විනිසුරු ජගත් බාලපටබැඳි මහතාගෙන් විමසූ අතර ඒ සම්බන්ධයෙන් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ගනේ්ෂ් ධර්මවර්ධන මහතාගෙන් විමසන ලෙස දැනුම් දුන්නේය.

ඒ අනුව ගනේෂ් ධර්මවර්ධන මහතාගෙන් මෙම නඩුව පිළිබඳව විමසීමේදී දැනුම් දුන්නේ අධ්‍යක්ෂ විමර්ශන සරත් සෝමවීර මහතාගෙන් ඒ පිළිබඳව විමසන ලෙසය. අවසන සරත් සෝමවීර මහතාගෙන් ඒ පිළිබඳව විමසීමේදී ඔහු ප‍්‍රකාශ කළේ අදාළ නඩුව පිළිබඳව කිසිවක් තමා නොදන්නා බවය.

ලසන්ත රුහුණගේ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos