-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණිය වූත්, වත්මන් එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ සොහොයුරිය වූත් දුලාංජලී ජයකොඩි මහත්මිය රුපියල් ලක්ෂ 20කට ආසන්න ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් බැංකුගත කරන්නට ගොස් හසුවීම පසුගිය සතියේ කාගේත් අවධානය දිනාගත් සිද්ධියක් විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට අනුව දුලාංජලී රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනාකමක් ඇති ව්‍යාජ පන්දහසේ නෝට්ටු 403 ක් බැංකුගත කරන්නට යන්නේ කුරුඳුවත්තේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවකටය. ඇය එම බැංකුවේ ගිණුූම් හිමිකාරිනියක වූ නමුත් ඇය එම ව්‍යාජ නෝට්ටු තොගය තැන්පත් කරන්නට සූදානම් වන්නේ නිවාස සාදා විකුණන ප්‍රසිද්ධ ආයතනයක ගිණුමකටය. ඒ ඇය විසින් එම සමාගමෙන් මිලදීගෙන ඇති නිවසක වාරික වශයෙනි.


අනාවරණය වී ඇති ආකාරයට එදින පස්වරු 2.15 ට පමණ දුලාංජලී මහත්මිය  එම බැංකු ශාඛාවට පැමිණ ඇති අතර ව්‍යාජ පන්දහසේ නෝට්ටු තොගය බැංකු සේවිකාවක් වෙත බාර දී තිබේ. ඒ බණ්ඩල් දෙකක් වශයෙනි. බැංකු සේවිකාව ඇයට බැංකුවේ තැනක අසුන්ගන්නට සලස්වා එම නෝට්ටු  බහා තිබූ කවරවලින් පිටතට ගත් අතර ඒ සැනින්ම නෝට්ටුවල ඇති යම් වෙනසක් ඇගේ නෙත ගැටුනාය. නෝට්ටුවල වර්ණය, ගණකම ආදිය වෙනස් බවක් ඇයට හැඟිණි. දිය සලකුණු ඇතුළු රහස් සලකුණු කිසිවක්ද එහි දක්නට නොවීය. නෝට්ටුවල ප්‍රමාණයද එකිනෙකට වෙනස්ය. බැංකුවේ විශ්වාසවන්ත ගනුදෙනුකාරියක වූ දුලාංජලී ලබාදී තිබුණු සියලු නෝට්ටු ව්‍යාජ ඒවා බව බැංකු සේවිකාව වටහා ගැනීමෙන් අනතුරුව ඇය දුලාංජලීට ඒ බව පැවැසුවාය. එවිට ඇය එම නෝට්ටු තොගයද බැංකුවේ දමා එම ස්ථානයෙන් පිටව යන්නේ මේ ගැන දුරකථනයෙන් කාටදෝ පවසමිනි.

දුලාංජලී බැංකුවට ආවේ තනිවම වූවත් බැංකු සේවිකාව නෝට්ටු ව්‍යාජ බව සඳහන් කිරීමට ඇය අසලට එන විට තවත් අයෙකු ඇය සමග සිටි බව පැවසේ. හීන්දෑරි පුද්ගලයෙකු වූ ඔහු දුලාංජලී බැංකුවට ලබාදුන්  ඒ ව්‍යාජ මුදල් වෙනුවට අදාළ නිවාස ඉදිකිරීමේ ආයතනයේ නමින් රුපියල් ලක්ෂ විස්සක චෙක්පතක්  ලබාදෙමින් එම ව්‍යාජ මුදල් තොගය බැංකු සේවිකාවගෙන් ආපසු ඉල්ලා සිටියේය. ඔහුගේ ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ ඇය ඒ සම්බන්ධයෙන් තම ප්‍රධානීන්ව දැනුවත් කරන්නට පියවර ගත්තාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ නිලධාරීන් බැංකු ශාඛාව වෙත පැමිණෙන්නේ බැංකු කළමනාකාරිත්වය විසින් ඒ ගැන කළ දැනුවත් කිරීමත් සමගිනි. ඒ සවස 3.00ට පමණය. ඒ අය එන විටත් දුලාංජලී වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සක චෙක්පතක් ලබාදී සියල්ල ගොඩින් බේරා ගැනීමට සූදානම් වූ පුද්ගලයා ද බැංකුවේ රැඳී සිටියේය.
“ඒ සල්ලි ගැන දුලාංජලී  කිසිම දෙයක් දන්නේ නැහැ. මමයි එයාට සල්ලි දුන්නේ. මටත් ඒ සල්ලි ලැබුනේ මහරගම කෙනෙකුගෙන්.” ව්‍යාජ මුදල් විමර්ශන ඒකකයේ නිලධාරීන් හමුවේ ඔහු කරුණු දක්වා ඇත්තේ ඒ ආකාරයෙනි.

ව්‍යාජ මුදල් තොගයක් බැංකුගත කරන්නට ගිය දුලාංජලීට ඒ තුළින් එල්ලවන්නට ගිය අපකීර්තියෙන් එසේ ඇයව ගලවාගන්නට ඉදිරිපත් වූ  මේ පුද්ගලයා ප්‍රේමදාස පවු‍ලේ සමීපතමයෙකි. නමින් ඔහු ක්‍රිෂාන්ත රෝලන්ඩ් පෙරේරාය. හතළිස් අට වියැති රෝලන්ඩ්ගේ බිරිඳ ජාත්‍යන්තර බැංකුවක මෙරට නේවාසික කළමනාකරුගේ ‍ලේකම්වරියය. ඔවුන්ට දියණියන් දෙදෙනෙකු සිටින බවද පැවසේ.

හෙළි වී ඇති ආකාරයට අනුව ක්‍රිෂාන්ත කාලයක්ම රැඳී සිට ඇත්තේ එංගලන්තයේය. ඔහුගේ සහෝදර සහෝදරියන් සිටින්නේද එංගලන්තයේය. වැඩිමහල් සහෝදරයා එරට විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙකු වන අතර දුලංජලී ඔහුගේ ශිෂ්‍යාවක බව සඳහන්ය. දැනගන්නට ඇති ආකාරයට අනුව ක්‍රිෂාන්තගේත්, ප්‍රේමදාස පවු‍ලේත් හිතවත්කම ඒ තුළින් ඇති වූවක් නොවේ. එය ප්‍රේමදාස ජනාධිපතිවරයා සහ ක්‍රිෂාන්තගේ පියා අතර පැවැති හිතවත්කමක් දක්වා දිවයන්නකි. එකල ඔහු අමාත්‍යාංශ රාශියකම ‍ලේකම් ධුරයද හොබවා ඇති බව සඳහන්ය. 

1996 වසරේ සිට එංගලන්තයේ රැඳී සිටිමින් තොරතුරු තාක්ෂණයසම්බන්ධයෙන් සහ ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් සහ උපාධියක් හිමිකරගත් ක්‍රිෂාන්ත මෙරටට පැමිණෙන්නේ 2000 වසරේදීය. ඒ පැමිණි ඔහු තමන් එංගලන්තයේදී ලද ව්‍යාපාරික ඥානය යොදා ගන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරමිනි. බත්තරමුල්ල පැත්තේ එම කර්මාන්ත ශාලාව ඔහු පටන් ගන්නේ එහි ආයෝජකයෙකු ලෙස දුලාංජලී ද සම්බන්ධ කරගෙනය. ඒ සඳහා දුලාංජලී ආයෝජනය කළා යැයි සඳහන් වන්නේ ස්ටර්ලින් පවුම් දෙලක්ෂ පනස් දහසක මුදලකි. එය ශ්‍රී ලංකා රුපියල්වලින් නම් කෝටි පහක් ඉක්මවන ප්‍රමාණයකි.

එම ආයෝජන මුදලට මාස් පතා ඇයට ලාභාංශ ලැබෙයි. එම මුදල කෙළින්ම යන්නේ නිවාස ඉදිකිරීම් සමාගමෙන් ඇය මිලදී ගත් නිවසේ වාරිකය වෙනුවෙනි. එම මුදල් බැංකුවට බැර කරන්නේ ක්‍රිෂාන්තය. වාරිකය රුපියල් ලක්ෂ දහයකි. නැතිනම් රුපියල් මිලියනයකි.

 ඒ ආයෝජනයේ ප්‍රතිලාභ මුල් කාලයේ නිසි පරිදි ඇයට ලැබි ඇතත් පසුව එය කලට වේලාවට නොලැබිමේ තත්ත්වයක් ඇති වී තිබූ බව අනාවරණය වෙයි. ඒ හේතුව නිසා නිවස මිලදී ගැනීම වෙනුවෙන් අදාළ ආයතනයට ගෙවිය යුතු වාරික දෙකක්ම ගොඩ ගැසුණේය. එය එම ආයතනය සහ දුලාංජලී අතර ඇති විශ්වාසය පළුදුවන්නටද බලපෑවේය. ඒ නිසාම ඇය දිගින් දිගටම ක්‍රිෂාන්තට දැනුම් දෙන්නට වූයේ වාරික දෙකම හැකි ඉක්මනින් බැංකුගත කරන ලෙසය. එහිදී ඔහු  මුදල් බැංකුගත කරනවා වෙනුවට ඉකුත් 25 වෙනිදා උදේ ඇගේ අතෙහි මුදල් තොගයක් තබා පවසන්නේ එහි රුපියල් ලක්ෂ විස්සක් ඇති බවය. ඒ පන්දහසේ නෝට්ටුවලිනි. මිටි දෙකක් වශයෙන් කවර දෙකක බහා ලබාදුන් ඒ මුදල් තොගය ඇය දිගහැර බලන්නට ගොස් නැති බවද පැවසේ. 

පැය දෙක තුනකට පසු ඇය එය රැගෙන යන්නේ බැංකු ගතකරන්නටය. ඒ යන අතරතුර ක්‍රිෂාන්ත ඇයට ඇමතුම් දෙමින් මුදල් බැංකුගත කරන්නේ කවදාදැයි විමසා ඇති බවද සඳහන්ය. එහිදී ඇය ඔහුට  සඳහන් කර ඇත්තේ තමා බැංකුවට යමින් සිටින බවය. ඔහු බැංකුවට එන්නේ ඒ අනුවය. ඔහු උත්සාහ දරා ඇත්තේ  ඇයට පෙර  බැංකුවට යන්නට බවද අනාවරණය වී ඇත. ඊට ඉඩක් නොලැබෙන්නේ බැංකුව වෙත පැමිණෙන්නට ඇති මාර්ගය එක් දිශාවකට පමණක් වාහන ධාවනයට යොදවා ඇති බැවින් අතරමගින් වාහනය නතර කර ඔහුට පාගමනින් බැංකුවට පැමිණෙන්නට සිදුවන බැවිනි. ඇයට පෙර ඔහු බැංකුවට ආවේ නම් මේ කතාව මෙසේ නොලියවෙන්නටද ඉඩ තිබිණි. හොර නෝට්ටු ජාවාරමක් ගැන හෙළි නොවන්නටද තිබිණි. ප්‍රමාද වී හෝ බැංකුවට  පැමිණි ඔහු ඇගෙන් ඉල්ලා සිට ඇත්තේ රුපියල් ලක්ෂ විස්සෙහි මුදල් බණ්ඩල් දෙකය. ඒ වෙනුවට ඔහු ඇයට චෙක්පතක් දෙන්නට උත්සාහයකද නිරත වී තිබේ..

“චෙක් එකක් පෙන්නල ආයිත් පාරක් මාව රවට්ටන්නද යන්නේ?” ඇය එවිට ක්‍රිෂාන්තට දොස් නගා ඇත්තේ ඔහු ව්‍යාජ චෙක්පතක් දී ඇයට ලබාදුන් ඒ මුදල රැගෙන යන්නට  උප්පරවැට්ටියක් යොදන බව සිතාය.  ඔහු තමාට දී ඇත්තේ ව්‍යාජ මුදල් තොගයක් බව දුලාංජලී ඒ වනවිටත් දැන සිටියේ නැත. ඒ වන විට ඒ මුදල් තොගයම බැංකු සේවිකාව අත තිබුණු බැවින් ව්‍යාජ නෝට්ටු තොගය බැංකුවට යන්නට පෙර ඔහුට එය නැවතත් තමන්ගේ අතට ගන්නට ඉඩක් නොවීය.  බැංකු සේවිකාව ඔවුන් සිටි  තැනට පැමිණ එම නෝට්ටු ව්‍යාජ යැයි සඳහන් කරන්නේ ඒ අවස්ථාවේය.
සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිෂාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූයේ එම මුදල් තමන් දුලාංජලීට ලබාදුන් බව ඔහු පිළිගත් බැවිනි. ඒත් සමගම ව්‍යාජ මුදල් විමර්ශන ඒකකයේ නිලධාරීන් දුලාංජලීද සිය භාරයට ගත්තේය. ඇගෙන්ද දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලැබිය. ක්‍රිෂාන්ත ලබාදුන් මුදල් පාර්සලය පරීක්ෂාවකින් තොරව කවර පිටින්ම බැංකුවට රැගෙන ගියා මිස ඒවා ව්‍යාජ බව ඇය දැන නොසිටි බව එහිදී ව්‍යාජ මුදල් විමර්ශකයන්ට පෙනී ගිය බවත්, ඒ නිසා ඇයව අත්අඩංගුවට ගන්නට නොගිය බවත් ‍පොලීසියේ නිල ප්‍රකාශයය. ඒ බව ‍පොලීසිය තහවුරු කරන්නේ රුපියල් ලක්ෂ විස්සක් බව සඳහන් කරමින් ඇය එම නෝට්ටු මිටි දෙක බැංකුවට දුන්නද එහි පන්දහසේ නෝට්ටු  403 ක් තිබිම නිසාය. ඇය ගණන් කර එම නෝට්ටු බැංකුගත කිරීමට රැගෙන ආවේ නම් වැඩිපුර නෝට්ටු 03 ක් ඇති බව  දැනගෙන එම නෝට්ටු ඉවත්කරගන්නා බව ‍පොලීසියේ අදහසය. එසේම ඇය  ඒ ගැන කිසිවක් නොදන්නා බව ක්‍රිෂාන්තද පවසන්නට වූ බැවින් එහි වාසියද ඇයට හිමිවූ බව ‍පොලීසියේ ප්‍රකාශයයි.
දුලාංජලීට  තමන් ලබාදුන් ඒ මුදල් නෝට්ටු මහරගම අයෙකු විසින් තමන්ට ලබා දුන් ඒවා බව ක්‍රිෂාන්ත මුලින් පැවැසුවත් ඔහුගෙන් ඒ ගැන වැඩිදුර ප්‍රශ්ණ කරන්නට ගත් විට පවසන්නට වූයේ ඒ  මුදල් තමන් විසින්ම මුද්‍රණය කළ බවය. ඒ වෙන කිසිවක් නිසා නොව, ව්‍යාපාරික කටයුතු තරමක් අඩපණව පැවැති බැවින්  දුලාංජලීට ලබාදිය යුතු මුදල් ලබා දෙන්නට තවත් ටික දිනක් ගතවන නිසා ව්‍යාජ මුදල් ලබාදී හෝ තාවකාලිකව ඇගේ ඉල්ලීම්වලින් බේරීමට වුවමනා වූ නිසාය.  තමන් මුදල් ලබාදුන් දවසේම ඇය ඒවා බැංකු ගතකරතැයි ඔහු සිතන්නේ නැත. ඔහු සිතන්නේ ඒ මුදල් ඇය ළඟ තබාගෙන පසුව බැංකුගත කරනු ඇතැයි කියාය. ඒ අනුව ඔහු සැලසුම් කරන්නේ එම මුදල් බැංකුගත කරන්නට ඇය යන දවසක එම මුදල් පාර්සලය තමන් අතට ගෙන ඒ වෙනුවට චෙක්පතක් දෙන්නටය. ඔහු පවසා ඇති ආකාරයට ඔහුට මෙවන් දෙයක් සැලසුම් කරන්නට සිදුවන්නේ දැඩි මූල්‍ය අර්බුදයකට ව්‍යාපාරය පත්ව තිබිම හේතුවෙනි.
ක්‍රිෂාන්ත ඒ සඳහා ව්‍යාජ නෝට්ටු අච්චු ගසන්නේ ඇතුල්කෝට්ටේ පිහිටි තම නිවසේ කාමරයකදීය. ඒ ලැප්ටොප් පරිගණකයක් සහ ප්‍රින්ටරයක් භාවිතයෙනි. ඔහු සාමාන්‍ය සුදු කඩදාසිවල පන්දහසේ ව්‍යාජ නෝට්ටු විශාල තොගයක් එහිදී අච්චු ගැසුවද තාක්ෂණික ශිල්පය ප්‍රගුණකර සිටියෙකු නොවූ ඔහුට සැබෑ නෝට්ටුවලට සමාන ආකාරයට මුද්‍රණය කරන්නට හැකියාවක් නොවීය.
ව්‍යාජ මුදල් විමර්ශන ඒකකයේ නිලධාරීහු ක්‍රිෂාන්තගේ නිවසට එදින රාත්‍රියේම කඩා වැදුණහ. කාමරයේ තිබි කඩදාසිවල ඔහු මුද්‍රණය කළ, කපා වෙන් නොකළ තවත් නෝට්ටු තොගයක්ම සොයාගත්තෝය. සොයාගත් ඒ නෝට්ටු ප්‍රමාණය පන්දහසේ කොළ 424 කි. එහි වටිනාකම රුපියල් විසිඑක් ලක්ෂයකට ආසන්නය. බැංකුවට ගෙන ගිය මුදල් අතර පන්දහසේ නෝට්ටු 403 ක් විය. ඒ අනුව සොයා ගැණුනු ව්‍යාජ පන්දහසේ නෝට්ටු ප්‍රමාණය 827කි.
එහි මුළු වටිනාකම රුපියල් හතළිස් එක් ලක්ෂ තිස්පන්දහසකි. මෙය මතෛක් ඉතිහාසයේ එක් පුද්ගලයෙකුගෙන් මෙරටදී සොයාගත් විශාලතම ව්‍යාජ මුදල් තොගයද වන්නේය.
ගයාන් කුමාර වීරසිංහ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos