-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අලුත් අවුරුදු උදාවත්ම රටේ දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවීම් වාර්තාවීම අල්ප විය. මැති ඇමැතිවරුන් බොහෝ දෙනාත් විදේශගතව සිටියේය. එමෙන්ම එජාප  නායක රනිල් වික්‍රමසිංහ මහතා අවුරුද්දට පෙරම ඇමෙරිකානු සංචාරයක් සඳහා එහි පිටත්ව ගියේය. මේ අතර එජාප  මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා ජපානය බලා පිටත්ව ගියේ තමන්ගේ පෞද්ගලික සංචාරයක් සඳහාය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු ලෙස අලුත් අවුරුදු සමරනු ලැබුයේ තංගල්ල කාල්ටන් නිවසේය. ජනාධිපතිවරයා අවුරුදු දින කිහිපය එහි ගත කරන බව දන්නා මැති ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන් සහ පෞද්ගලික හිතවතුන් බොහොමයක් දෙනා එහි ගොස් ජනාධිපතිවරයාට සුබ පැතීම සෑම වසරකම සිදුවන්නකි. මේ වසරේ සුවිශේෂී සිද්ධියක් වූයේ අගමැති  දි.මු. ජයරත්න මහතා සහ පවු‍ලේ උදවිය ජනාධිපතිවරයාට සුබ පැතීම  සඳහා තංගල්ල කාල්ටන් නිවසට පැමිණීමය. අගමැති දි.මු. ජයරත්න මහතා බුලත් අතක් දී ජනාධිපතිවරයාට ආචාර කරනු ලැබිය. ඉතා සුහද ලෙස ඔවුන් පිළිගත් ජනාධිපතිවරයා මෙන්ම ශිරන්ති රාජපක්ෂ මහත්මියත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් අගමැතිවරයා සහ පවු‍ලේ අය සමග සුහද කතාබහක නියැළුණේය. අලුත් අවුරුද්දේ කිරි උතුරවද්දී තංගල්ල කාල්ටන් නිවසේ සෙනග පිරී සිටියත් පවු‍ලේ උදවිය එම සිරිත් විරිත් සුපුරුදු ලෙස ඉටු කරනු ලැබුයේ ඉතා චාම් අන්දමිනි. තමන්ගේ ගමේ  නිවසේ සුපුරුදු සැහැල්ලුවෙන් ගත කළ ජනාධිපතිවරයා පළාතේ  ‍පොලිස් නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනාගේ පෞද්ගලික අවශ්‍යතාවයන් ද සොයා බැලීමට අමතක නොකළේය.
මෙම සිංහල අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගණේමුල්ල කොස්සින්න යටලවත්ත රජ මහා විහාරයේය.  එය සංවිධානය කරනු ලැබුයේ දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. කෙසේ හෝ ජනාධිපතිවරයා මෙවර රාජ්‍ය හිසතෙල් ගෑමේ උත්සවයට සහභාගි නොවීමට කල්තියා තීරණය කර එය දැනුම් දී තිබිණ. මේ කටයුතු සංවිධානය කළ සාලින්ද දිසානායක ඇමැතිවරයා විදේශගතව සිටි අතර එහි මූලිකත්වය ගත්තේ  නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතාය. යටලවත්ත රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ද ජනාධිපතිවරයාට කතාකොට ආරාධනා කළ අතර අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තිබූ හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවයට ජනාධිපතිවරයා සහභාගි  වීමට අවසානයේ තීරණය කළේය. එම උත්සවය අතරතුර අලි ඇතුන්ටද හිස තෙල් ගල්වනු ලැබිය. ජනාධිපතිවරයා  විසින් පළමුව  පැමිණි ඇතාට කොමඩු ගෙඩියක් දුන්නත් එය ඉවතට ගියේය. ජනාධිපතිවරයාගේ පිටුපසින් සිටි මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අසලින් තිබූ පලතුරු  වට්ටියකින් කෙසෙල් ඇවරියක් ගෙන දෙවනුව පැමිණි අලියාට දුන්නේය. එය ඉතා හොඳින් ග්‍රහණය කර ගැනීමට සතා සමත්විය. ඉන්පසු ප්‍රසන්න ජනාධිපතිවරයාටද කෙසෙල් ඇවරියක් දුන්නේය. එය ඇතාට ලබාදෙන ගමන් ප්‍රසන්න  දෙස බැලූ ජනාධිපතිවරයා කියා සිටියේ “මට දැන් අලින්ටත් කන්න දෙන්න වෙලා” කියාය. ප්‍රසන්න ඇතුළු පිරිසට ඊට  සිනහ ගියේය. එම උත්සවය අවසන් කර යළි කොළඹ පැමිණි ජනාධිපතිවරයා තමන්ගේ කාර්ය මණ්ඩලය අමතා සුබ පැතුවේය. ඉන් අනතුරුව දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා ගුවන් මගින් ජනාධිපතිවරයා නුවර බලා පිටත්ව ගිය අතර අයහපත් කාලගුණය ගුවන් ගමනට  බාධා කළේය. ඒ අනුව ජනාධිපතිවරයා ගමන් ගත් යානය වරකා‍පොළ ක්‍රීඩාංගණයට  ගොඩ බැස්සවූ අතර ජනාධිපතිවරයා  පැමිණ ඇතැයි දැනගත් මහජනතාව එහි රැස්විය. ජනාධිපතිවරයා ඔවුන්ටද සුබ පතා ගොඩ බිම් මාර්ගයෙන් මහනුවර බලා  පිටත්ව ගියේය.
මේ අතර පසුගිය සතියේ අලුත් අවුරුද්දට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය පසුගිය 10 දාට  යෙදී තිබිණ. උපන් දිනයට සාදයක් නොතිබූ  අතර ඊට පෙර දින රාත්‍රියේ පිරිතක් සංවිධානය කර තිබිණ. ඊට පසුදින හීල් දානයද මහා සංඝරත්නයට පිරි නැමිණ. උපන් දිනය යෙදී තිබුණ දිනයේ  මධ්‍යම රාත්‍රියේ දී උපන් දින කේක් ගෙඩිය නාමල් රාජපක්ෂ මහතා විසින් කපන ලද අතර එය නිර්මාණය කර තිබුණේ ගොල්ෆ් ක්‍රීඩාංගණයක අනුරුවක් ලෙසිනි.
උදෑසන දානයේ කටයුතු අවසන්වීමෙන් පසු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තම මිතුරන් සමග තංගල්ල මුහුදේ දිය නෑමට ගියේය. මිතුරන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර , රොෂාන් රණසිංහ යන මන්ත්‍රීවරුන්ද වූහ. ඔවුන් පිරිස මුහුදු වෙරළට යන විට ධීවරයන් පිරිසක් මාදැලක් අදිමින් සිටියේය. ධීවරයන්ගේ අවසරය ඇතිව මේ පිරිසද මා දැල ඇදීමට සම්බන්ධ විය. ඔවුන් පිරිස මාදැල ගොඩට එන තෙක්ම එම කාර්යයේ නිරත විය. එම කටයුත්ත අවසානයේ දැල ඇදීමට සහභාගි වූ සියලු දෙනාට මාළු පංගුව ලබාදීම සාමාන්‍ය සිරිතය. ඒ අනුව ධීවරයන් නාමල් රාජපක්ෂ  මහතාගේ මාළු පංගුව වෙන් කළේය. “මට මොකටද මාළු. මම වෙජිටේරියන්නේ ඒකත් ඔය කවුරුහරි ගන්න” නාමල් තමන්ගේ මාළු කොටස
ප්‍රතික්ෂේප කරමින්  කීවේය. ඉන් අනතුරුව  රොෂන් රණසිංහ මන්ත්‍රීවරයාගේ පංගුව වෙන් කළේය. තමන්ද පවු‍ලේ අය සමග කතරගම බලා පිටත්ව යන බැවින් මාළු රැගෙන දේවාල ගානේ යා නොහැකි බව රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා  කීවේය. උදිතද කියා සිටියේ මාළු අරන් තමන් කොහේ  යන්නද කියාය. මාළු
ප්‍රතික්ෂේප කළ මිතුරන් අනතුරුව මුහුදේ නෑවේය.
බොදු බල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ජාත්‍යන්තර  සංවිධානයක් වන “ට්‍රැක් “ සංවිධානය නම් කිරීමත් එය විහිළුවක් බව බොදු බල සේනා සංවිධානය කළ ප්‍රකාශයක් පසුගිය සතියේ  දේශපාලන ක්ෂේත්‍රයද මදක් උණුසුම් වූ සිද්ධියක් විය. බොදු බල  සේනා සංවිධානයේ ප්‍රධානියා වන ගලගොඩ  අත්තේ  ඥානසාර  හිමියන් ජාතික බලසේනාව විසින් කොළඹදී පවත්වන්නට යෙදුණු ප්‍රවෘත්ති සාකච්ඡාවක්  කඩාකප්පල් කළේ යැයි චෝදනා කරමින්  ‍පොලීසියට එන ලෙස කොම්පඤ්ඤ වීදිය  ‍පොලීසිය  උන්වහන්සේට දැනුම් දී තිබිණ.  
එහි ගොස් පිටත පැමිණි උන්වහන්සේ  ඇමැති රිෂාඩ් බද්යුදීන්ගේ ක්‍රියාකාරකම්  පිටුපස සිටින්නේ ඇමැති බැසිල් රාජපක්ෂ  මහතාට උන්වහන්සේ චෝදනා කළ බව මාධ්‍යයේ පළ විය. බොදු බල සේනා සංවිධානයට  එරෙහිව ආණ්ඩු පාර්ශ්වයේ බහුතරයක්  අතර නැග එමින් තිබූ විරෝධය මෙයත් සමග සීග්‍රයෙන් ඉදිරියට එන බව ආණ්ඩුවේ අභ්‍යන්තර  ආරංචි  මාර්ග සඳහන් කරයි. රටේ පවතින  නීති රීතීන්ට පිටින් කිසියම් පාර්ශ්වයක් ක්‍රියාත්මක වේ නම් ඊට ඉඩ නොදිය යුතු  බ වආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ අදහස වී තිබේ. ඉදිරියේදී ජනාධිපතිවරයාගේ අවධානය  මේ සම්බන්ධයෙන් යොමු කිරීමටද ඔවුන් බලා‍පොරොත්තු වේ.
මේ අතර පසුගිය සතියේ  තවත් උණුසුම්කාරී  සිද්ධියක් වූයේ ජනාධිපතිවරණයකදී ඉදිරිපත් වන ‍පොදු අපේක්ෂකයා  සම්බන්ධයෙන් මාදුළුවාවේ සෝභිත හිමියන්  සමග රජයේ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙක් කළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් රජයේ ඉහළ තැන් අවධානයෙන් සිටින බව පසුගිය සතියේ  වාර්තා විය. හදිසි ජනාධිපතිවරණයකට යෑමට තිබෙන ඉඩකඩ වැඩි බව විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් අතර කෙරෙන  සාකච්ඡාවලින් පෙනෙන්නට තිබේ.
කෑගල්ල අලි  ධාවන තරගයේ පරාජිත අලි  ඇතුන්ටද මුදලින් තෑගි ලබාදීමට සබරගමු මහ ඇමැති නියමයෙන් කටයුතු සිදු වූ අතර තිළිණ ලබාගැනීමට පැමිණි ගල් කුලමා නමැති අලියා දහස් සංඛ්‍යාත පිරිස විශ්මයට පත්කරමින් පසුපස දෙපයින් නැගී සිට ඉදිරිපස එක් අතක් ඔසවා සබරගමු  මහ ඇමැතිවරයාට ආචාර කළේය.
මෙම අලි ආචාරය හෙවත් සැලුයුට්  එක මහ ඇමැතිවරයාගේ සිත කෙතරම් පැහැර ගත්තේද යත් ඔහු ගල් කුලමා වෙත තවත් පලතුරු  වට්ටි කිහිපයක් පත් කිරීමෙන් ම පෙනී ගියේය.
ගල්කුලමා නමැති මේ සද්ධන්ත අලියා හිමි සබරගමු  පළාත් සභා මන්ත්‍රී ආනන්ද  මිල්ලංගොඩ  මහතාද අලියාගේ වරුණාව මහ ඇමැතිවරයා සහ කනක හේරත් මහතා හමුවේ කීය.
ඊට පසුදින පින්නවල මහ අලි ගෙදර සියයකට ආසන්න අලි ඇතුන්ට හිසතෙල් ගැල්වීම මහ ඇමැති ප්‍රධානත්වයෙන් සිදුවිය.
පින්නවල අලි අනාථාගාරය ඉදිරිපිට බතඹුරේ ක්‍රීඩාංගණයේ පැවති අවුරුදු උත්සවයට අලි ධාවන තරගයක්  ඇතුළත් විය.
එම අලි ධාවන තරගයට  වෙනදාටත් වඩා අලි ඇතුන් සංඛ්‍යාවක්  ඉදිරිපත්  විය. ජයග්‍රාහකයින්ට මෙන්ම
පරාජිත අලි ඇතුන්ටත් මහ ඇමැතිවරයාගෙන් තිළිණ  හිමි වන බව දැන සිටීම අලි ඇතුන්  සංඛ්‍යාව වැඩි වීමට මූලික කාරණාවක් විනැයි තරගයට  ඉදිරිපත් වූ ඇත්  ගොව්වන්ගේ කසුකුසුව විය.
පෙරදින  පළමු ස්ථානයට පත් ගල්කුලමා ද තරගයට සූදානම් වූ අතර ඊට අමතරව තවත් අලි ඇතුන් 06 ක් අලි ධාවනයට  සූදානමින් බතඹුරේ ක්‍රීඩාංගණය තැන තැන රඳවා තිබිණි.
පෙරදින පළමු ස්ථානයට පත් ආත්ම විශ්වාසය නිසා ගල්කුලමා  පසු වූයේ ගේමක් නැති ගානටය. පෙරදින අලි ධාවන තරගය ආරම්භ කිරීමට කොඩිය එසවීමේ සංඥාව  නිකුත් කිරීම මහ ඇමැතිවරයා අතින් සිදුවිය. බතඹුරේ අලි ධාවන තරගයේ දී එම කටයුත්ත වෙනකෙකුට පැවැරූ මහ ඇමැතිවරයා.
“මට හොඳට  අලි රේස් බැලිය යුතුයි“ පවසමින් වඩාත් හොඳට නැරඹිය හැකි ස්ථානයක් වෙත පුත් කනක හේරත් සමග ගියහ.
බතඹුරේ අලි තරගය නිමාවට  පත්වූයේ ගල්කුලමා අන්ත පරාජයට පත්කරමින් ගැහැනු සතුන් තිදෙනකු  පළමු දෙවන හා තෙවන ස්ථානයන්ට පත් කරමිනි.
පළමු ස්ථානයට පූජා නමැති ඇතින්න දිනාගත් අතර තාරකා  හා සමාධි යන ඇතින්නන් දෙදෙනා විසින් පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන ලබාගත්තේ ගල්කුලමා ඇතුළු සෙසු  සියලු ඇතුන් ලැජ්ජාවට පත්කරමිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos