වසර 6කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කිරිමට අද සමත් විය.
ඒ පකිස්ථානය සමග පැවති අවසන් තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමත් සමගිනි.
ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානයක් ජයග්‍රහණය කරනු ලැබුවේ 2008 වර්ෂයේදී ය.
අද තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 260ක් ලබා ගත්තේය.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පන්දුවාර 46යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරිමට සමත් විය.
මීර්පූර්හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ පකිස්ථානය ප්‍රථමෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
මීර්පූර්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු පකිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
පකිස්ථාන ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 18කදී දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය.
අනතුරුව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 122ක සබඳතාවයක් ගොඩනැංවීමට නායක මිස්බා උල්-හක් සහ ෆවාඩ් අලාම් සමත් විය.
මිස්බා උල්-හක් ලකුණු 65කට දැවී ගියේය.
සිය මංගල එක්දින ශතකය වාර්තා කළ ෆවාඩ් අලාම් නොදැවී ලකුණු 114ක් ලබා ගත්තේය.
උමාර් අක්මාල් ලකුණු 59ක් ලබා ගැනීමට සමත් විය.
පකිස්ථානය අවසන් පන්දුවාර 10 තුළ එක් කඩුල්ලක් දැවී ලබාගත් ලකුණු ගණන 101කි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග පකිස්ථාන ඉනිමේ දැවී ගිය කඩුලු 5 ම දවා ගැනීම විශේෂත්වයකි.
මාලිංගගේ පන්දුවාර 10ට පකිස්ථානය ලබාගත් ලකුණු ගණන 56කි.
මාලිංග මෙවර ආසියානු කුසලානයේදී පකිස්ථානයට එරෙහිව කඩුලු 5ක් දවාගත් දෙවන අවස්ථාව මෙය වේ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු තිරිමාන්න සහ කුසල් පෙරේරා පිටියට පිවිසියේය.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.
පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා ලකුණු 42කට දැවී ගියේය.
තරගාවලිය පුරාවටම සාර්ථක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම අද දැවී ගියේය.
අනතුරුව පිටියට පිවිසි මහේල ජයවර්ධන සමග එක් වූ ලහිරු තිරිමාන්න තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 156ක වටිනා සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.
මහේල ලකුණු 75කට දැවී ගියේය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ලහිරු තිරිමාන් සිය එක්දින ක්‍රිකට් දිවියේ තුන්වන ශතකය වාර්තා කළේය.
ඔහු පන්දු 108කදී ලබාගත් ලකුණු ගණන 101කි.
ඊට හතරේ පහර 13ක් ඇතුලත් විය.
පන්දු යැවීමේදී සයිඩ් අජ්මාල් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
අවසන් තරගයේ වීරයා සම්මානය ලසිත් මාලිංගට හිමි වූ අතර තරගාවලියේ වීරයා සම්මානය ලහිරු තිරිමාන්නට හිමිවිය.
ලහිරු තිරිමාන්න තරගාවලියක වීරයා සම්මානය ලබා ගත් පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.