පවුල් ආරවුලක් හේතුකොට ගෙන ස්වාමි පුරුෂයා විසින් සිය බිරියගේ හිසට හා මුහුණට පහළොස් පොළකට (15) පමණ පිහියෙන් ඇනීම නිසා බරපතළ තුවාල ලද විසි එක් (21) හැවිරිදි එක් දරු මවක් ඉකුත් 9 වැනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කැකිරාව පොලිසිය පවසයි.
මරදන්කඩවල හබිඩියාගමදී වූ මේ සිද්ධියෙන් බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ සට්ටන්කුලමේ පදිංචිකාරියක වන දිල්හානි ධර්මසිරි (21) නමැත්තියකි.
ඉකුත් 9 දා හබිඩියාගම පිහිටි පාළු වැවකට සිය බිරිය කැඳවාගෙන ගිය ඇගේ ස්වාමිපුරුෂයා විසින් මේ පිහි ඇනුම සිදුකර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මේ අතර ඉකුත් හතරවැනිදා (4දා) මේ යුවළ අතර ඇතිවූ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසියේදී පරීක්ෂණයක් පවත්වා දෙපාර්ශ්වයම සමථයකට පත්ව ඇති බවද තිරප්පනේ පොලිසියෙන් වාර්තා වේ. දෙවැනි වරට දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් නිසා මෙසේ පිහියෙන් ඇනීම සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි. මේ පිළිබඳ සැකපිට පිහියා ඇනුමට ලක්වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. වී.පී.ජේ. පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශ ස්ථාධිපති පො.ප. එච්. සුමිත් ආනන්ද මහතා වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.