ආණ්ඩුව ආනයනික කිරිපිටි මිල වැඩි කළත්, කිරිපිටි සමාගම් තවදුරටත් මිල වැඩිකරවා ගැනීමේ අරමුණින් කිරිපිටි තොග සැඟවීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බවට පාරිභෝගික අධිකාරිය තොරතුරු අනාවරණය කැර ගෙන තිබේ.

තවද පාරිභෝගිකයා දිනපතා පාවිච්චි කරන සඟවා ඇති කිරිපිටි වර්ග ඉතා කුඩා පැකට්ටුවලට දමා වෙළෙඳපෛාළට යැවීම සිදුකරන බවත්, ඒ හරහා ග්‍රෑම් 450 කිරිපිටි පැකට්ටුවකින් ආණ්ඩුවේ මිලට අලෙවි කැර ලබන ලාභයට වඩා වැඩි ලාභයක් ලබන බවටත් හෙළි වී තිබේ.
ආනයනික කිරිපිටිවල මිල රජය පසුගිය සතියේ ග්‍රෑම් 450 පැකට්ටුව රුපියල් 61 කින් වැඩි කෙළේය. සමාගම් එම මිල රුපියල් 250 න් වැඩිකරවා ගැනීමට ඉල්ලයි.
ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල වැඩි වී ඇති ප්‍රමාණය හා මෙරට පාරිභෝගිකයාට අසාධාරණයක් සිදු නොවන ආකාරයටත්, එම මිල වැඩි කිරීම යුක්ති සහගත එකක් බව පාරිභෝගික අධිකාරිය පවසයි.

මාස කිහිපයක් තිස්සේ ආනයනික කිරිපිටි සඟවා තැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් දේශීය පාරිභෝගිකයන්ගේ දේශීය කිරිපිටි සහ දියර කිරි සඳහා ඇති ඉල්ලුම සියයට හැත්තෑ පහකින් පමණ වැඩි වී ඇති බව වෙළෙඳපළ සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ඒ අතර ආනයනික කිරිපිටි සඳහා තිබූ පාරිභෝගික ඉල්ලුම ද විශාල වශයෙන් අඩු වී ඇති බවට ද තොරතුරු ලැබී තිබේ. කිරිපිටි මිල වැඩි කිරීමෙන් පසුවත් තවදුරටත් මිල වැඩිකරවා ගැනීමේ අරමුණින් ඒවා සඟවාගෙන සිටින ආයතන පසුපස ලුහුබඳින පාරිභෝගික අධිකාරිය සැඟවූ තොග සොයා මෙහෙයුම් සිදුකරයි.
මේ අතර රජයට තිබූ ප්‍රධානම කිරිපිටි සමාගම වූයේ ලංකා මිල්ක් ෆුඩ් (ලක්ස්ප්‍රේ) සමාගමයි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා 1991 ඔක්තෝබර් 25 වැනිදා එම කිරිපිටි සමාගම හැරී ජයවර්ධන මහතාට කුණු කොල්ලයට විකුණූ බව පවසන සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, අද සජිත් ප්‍රේමදාස මහතා කිරිපිටි මිල ගැන කතා කරන්නේ එදා ඔහුගේ පියා රජයට තිබූ එම වටිනා කම්හල විකුණා බහුජාතික සමාගම්වලට මෙහි ස්ථාපිත වීමට ඉඩහැරීම සජිත්ට මතක් කැර දීම වැදගත් බව පවසමිනි.