2011.09.01 දින කොළඹ විදේශ රැකියා ආයතනයකින් ජෝර්දානයේ ගෘහ සේවිකාවක් ලෙස ගිය ඇය එදින සිට එකළොස් දෙනකුගෙන් යුක්ත පවුලකට දස දුක් විඳිමින් බැලමෙහෙවර කළ ආකාරය පිළිබඳව අපහසුවෙන් කතා කරමින් මෙසේ පැවැසුවාය.
"මම ගොඩාක් අසරණ වෙලා. මම රට ගියේ ගෙදර තියෙන අඩුපාඩු මඟහරවා ගන්න පුළුවන් වෙයි කියලා. ජෝර්දානයට ගියත් මට කියලා යවපු නිවෙසට නෙවෙයි යන්න වුණේ. ඒත් කමක් නෑ කියලා මම ගෙදර වැඩ කළා. ඒජන්සියෙන් කිව්වා සොයලා බලනවා කියලා. අවුරුදු දෙකක් ගොඩාක් දුක් වින්දා. ඒජන්සියට කිව්වට හොයලා බැලුවේ නැහැ. ඒ ගෙදර හිටියේ ඔක්කොම තරුණ අය. ඒගොල්ලන්ගේ වැඩ කරලා ඉවරයක් නැහැ. ඒ වුණත් මට කෑම ටිකක්වත් නෑ.
මම හිටපු ගෙදර වැඩිහිටි කාන්තාව කැනඩාවේ ගියා. ගෙදර සියලුම දෙනාගේ වැඩ මට කරන්න වුණා. උදේ පාන්දර තුනට ඇහැරුණාම රෑ ෙදාළහ විතර වෙනකල් වැඩ ගන්නවා. ඒගොල්ලෝ කාලා නිදියනවා. මට කන්න ටිකක්වත් නෑ, ළමයි ටික එළියට ගියාම එන්නේ රෑ නවයට විතර. ඒ එනකල් ගේ වහලා ඇතුළේ මම ඉන්න ඕනෑ. එළියට එන්න දෙන්නේ නැහැ. ආවොත් මට හිරිහැර කරනවා. ටික දවසක් යනකොට මට රත්තරන් වගයක් හොරකම් කළා කියලා බිම දාගෙන ගැහුවා. මට එළියට යන්න දෙන්නේ නැතිව ඒවා හොරකම් කර ගන්නේ කොහොමද. මා ගාව තියෙනවාද කියලා හොඳට හොයන්න පුළුවන්. ඒවා දෙන්න කියලා මට නොකරපු හිංසාවක් නෑ. මෙච්චර දුක් විඳලාත් මට කන්න දුන්නෙත් නෑ. පඩි දුන්නෙත් නෑ. එදා ලංකාවට එන්න හදනකොට පඩි දෙන්න වෙයි කියලා මාව මරන්න හැදුවා. බොරු හොරකම් දාලා මාව පොලිසියට ගෙනිච්චා. බොරු සාක්කි දීලා මගේ වරද කියලා බලෙන් අස්සන් කරවාගෙන මට පඩි දුන්නේ නෑ.
මෙච්චර දුක් වින්ද මට දුන්න පඩියෙන් කාලයි මට දෙන්නේ. ඒජන්සියෙන් වැඩි කොටසක් ගත්තා. ලංකාවට ගෙන්න ගත්තු බඩු එකක්වත් දුන්නේ නෑ. පරිගණක හොරකම් කළා කියලා ගෙදර කොල්ලා මට වෙඩි තියන්න ගියා. මම කෑගහපු නිසා ටොයිලට් සෝදන රසායනික ද්‍රව්‍යයක් බිම දාගෙන බලෙන් පෙව්වා. ඊට පස්සේ මට වුණ දේ දන්නේ නෑ. එහෙයින් මම ලංකාවට පටවලා එව්වා. ආපු දා ඉඳලා කොළඹ ජාතික රෝහලේ. දැනට මාස පහකින් බත් ඇටයක් කාලා නෑ, කටෙන් ආහාර ගන්න බෑ. ගලනාලය දිගේ කෑම යන්නේ නෑ. වෛද්‍යවරු කිව්වේ මගේ ගලනාලයට බරපතළ හානි වෙලා කියලා. මගේ බඩ මැදින් හිල් කරලා බට දෙකක් දාලා ඒ තුළින් තමයි මගේ මහත්තයා දියර වර්ග දාන්නේ. එතකොට මට ටිකක් පණ එනවා. මට කතාකරගන්න බෑ. මට ජෝදානයේදී කන්න නැතිව ඒ ගෙදර අය කන යෝගට් කෝප්ප හංගාගෙන හාල් පොඟන්න දාලා හොරෙන් කනවා. ඒවා කාලා උදෙන්ම නැඟිටින්න ඕනෑ. මම වගේ දුක් වි¼දපු කෙනෙක් ආයේ ලංකාවේ නැතිව ඇති කියලා මම හිතනවා.
මම වින්ද දුක ගැන නිතර තානාපති කාර්යාලයට කිව්වා. ඒගොල්ලෝ ඇවිත් මම විඳින දුක ගැන නෙවෙයි ඇහුවේ. මගේ මහත්තයාට හරිහමන් රැකියාවක් නෑ, එයා මේසන් බාස්ලාට අත් උදව් දෙන කෙනෙක්. අපිට ජීවත් වෙන්න විදියක් නෑ, කවුරු හරි සහයෝගයක් දක්වනවා නම් පින් සිද්ධවෙයි. දැන් මොනවද කරන්නේ කියලා හිතාගන්න බෑ."
තම බිරියට සිදුකර ඇති අපරාධය සම්බන්ධයෙන් බෙහෙවින් දුකට පත්වී සිටින ස්වාමිපුරුෂයා වන එන්.එම් නිශාන්ත කරුණාරත්න මහතා මෙසේ පැවැසීය.
"ලෙඩා කොළඹ ගෙනහිල්ලම අතේ සල්ලි නෑ. මට වැඩකට යන්න විදියක් නෑ. කොළඹ ජාතික රෝහලට දැන් හතර සැරයක් අරන් ගියා. හැමදාම පරීක්ෂණයක් කරලා සැත්කම කල් දානවා. අපේ දුක දැකලා මගේ බිරියගේ අසනීපයට ඉක්මන් ප්‍රතිකාරයක් කරලා දෙන්න කියලා ඉල්ලන්නේ. රෝහලෙන් ඇයි දන්නේ නෑ මේක කල් දාන්නේ කියලා. මට වෛද්‍යවරු කිව්වේ රසායනික ද්‍රව්‍ය පෙවීම නිසා උගුරේ ඉඳලා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා කියලා.
ඒ නිසා බඩ මැදින් බට දාලා තමයි කෑම දෙන්නේ. ලංකාවට ආපු දිනයේ සිට අද වෙනකල් ආහාර කිසි දෙයක් නෑ, මට වැඩක් කර ගන්න විදියකුත් නෑ. එයාට වතුර ටිකක් හරි බටයෙන් දෙන්නේ මම. ජීවත් වෙන්න විදියක් නෑ. කවුරු හරි බලල මේ දුක අපිට පිහිට වෙන්න කියලයි කියන්නේ. සෞඛ්‍ය ඇමැතිතුමාවත් මෙයට සම්බන්ධ වෙලා ඉක්මන් ප්‍රතිකාරයක් කරලා දෙන්න. පින් සිද්ධ වෙයි" යැයි පැවැසීය. මේ සම්බන්ධව අදහස් දැක්වූ විමලාගේ මවුපියන් පැවැසුවේ මෙවන් බරපතළ අපරාධ කරන්නවුන්ට සාප වෙන බවයි.