සවුදි අරාබියේ පළමු කාන්තා නීතිඥ සමාගම විවෘත කර ඇතැයි වාර්තා වේ. මෙය සිදුවී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මසදී සවුදි ඉතිහාසයේ පළමු වරට කාන්තාවන් සිව්දෙනෙකුට නීතිඥ වෘත්තියේ දිවුරුම්දීමට අවසර දීමෙන් පසුවය.
ජෙඩා නගරයේදී මෙය විවෘත කර ඇත්තේ බායන් මහමුද් අල් සහ්රාන් නීතිඥවරිය විසිනි. ඇය පවසා ඇත්තේ සවුදි කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට සහ එම ගැටළු අධිකරණය කරා ගෙනයාමට තමන් සූදානමින් සිටින බවයි.
නීතිඥවරියන්ට රටේ නීති පද්ධතියට විශාල දායකත්වයක් ලබාදිය හැකි යයි තමන් විශ්වාස කරන බවත් මෙම ඓතිහාසික පියවර සඳහා තමන්ට සහය දුන් සැමට කෘතඥතාවය පළ කරන බවත් සහ්රාන් පවසා තිබේ.
කාන්තාවන්ට අදාළ කම්කරු ආරවුල් සහ ව්‍යාපාරික ගැටළු විසඳීමට මැදිහත් වනවා මෙන්ම සවුදි අරාබියේ නීති පද්ධතිය විසින් කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයම සම තැන පිහිටුවාලන නිසා ගැහැණු පිරිමි භේදයකින් තොරව කටයුතු කිරීමට බලාපොරොත්තු වනබව ඇය පවසා ඇත.
මෙම නීතිඥ සමාගම විවෘත කරන අවස්ථාවට රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානින් රැසක් සහභාගි වී ඇතැයි වාර්තා වේ. එහිදී ජෙඩාහි වාණිජ මණ්ඩලයේ උප සභාපති මැසෙන් බැටර්ජි පවසා ඇත්තේ අධිකරණ ක‍්‍රියාවලිය තුළ හිජාබය භාවිතයට අදාළ ෂරියා නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවයි.
නීතිඥ ධුරයේ දිවුරුම්දීමට කාන්තාවන්ට නොහැකි වන පරිදි පැවති නීතිය සංශෝධනය කරමින් බයාන් සහ්රාන් ඇතුළුව ජිහාන් කුර්බාන්, සාරා අල් ඔමාරි සහ අමීරි කුඛානි වන නීති උපදේශිකාවන්හට නීතිඥවරියන් ලෙස දිවුරුම්දීමට සවුදි අධිකරණ අමාත්‍යාංශය විසින් අවසර දීම එරට කාන්තා අයිතිවාසිකම් ක්‍ෂෙත‍්‍රය තුළ ලැබූ විශාල ජයග‍්‍රහණයක් ලෙස සැලකේ.