-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ හතේ බෞද්ධාලෝක මාවතේධර්මායතනාධිපති ඇල්‍ලේ ගුණවංශ හාමුදුරුවන් රටේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ බොහෝ බලසම්පන්න ආන්දෝලනාත්මක චරිතයක් ලෙසය. රාජ්‍ය නායකයන් කීපදෙනකුම ඇතුළු ප්‍රබල දේශපාලනඥයන් බොහෝ දෙනකු ළඟින් ඇසුරු කර ඇති උන්වහන්සේ ඉකුත් දශක හතරක කාලයේදී දේශපාලනයේ තිරය පිටුපසින් වූ බොහෝ රහස් දන්නා භික්ෂුවකි. මේ උන්වහන්සේගේ දිවියේ මතකාවර්ජනයක අවසන් කොටසය. 
රටේ නායකයා වීමට ආර්.ප්‍රේමදාස හා ගාමිණි දිසානායක අතරේ සීතල යුද්ධයක් තිබූ බව ප්‍රසිද්ධ රහසක්. එවැනි පසමිතුරන් දෙදෙනකුගේම ‍පොදු මිතුරෙකු බවට පත්වීමට ඔබ වහන්සේට හැකිවුණේ කොහොමද?
ආර්. ප්‍රේමදාස මගේ නායක හාමුදුරුවන් වූ බද්දේගම විමලවංශ අනුනාහිමියන්ගේ මිතුරෙක්. ඒ කාලයේ පටන්ම ප්‍රේමදාසට දේශපාලනය ගැන ලොකු ඉවක් තිබුණා. රටේ නාඩි වැටෙන හැටි හරියට අල්ලපු නායකයා තමයි ප්‍රේමදාස. කෙසේ නමුදු ප්‍රේමදාස මගෙත් එක්ක තරහකින් පසුවුණේ නෑ. මුලින් මුලින් මම ඔහුව ගණන් ගත්තේ නෑ. ඔහු මගේ මිතුරෙකු වුණේ පසුවයි.
ඇයි ඔබ ප්‍රේමදාසට කැමැති වුණේ?
මම ඔහුට කැමති වුණේ අපේ පන්ති මිතුරෙකු වූ නිසා. එයා එන්සිනා හාමිගේ පුතා. රිචඩ් ඒ මුදලාලිගේ පුතා. රෙද්ද බැනියම ඇන්ද මිනිහ. රාජකීය, ශාන්ත තෝමස්, ශාන්ත පීතර වැනි සුපිරි පන්තියෙන් ආපු නැති මිනිහ. ඒ නිසා මා කල්පනා කළා ප්‍රේමදාසටත් උපකාර කරන්න ඕනේ කියලා.  එනමුත්  මා ගාමිණි සමග පවත්වන සමීප මිතුරුදමට ප්‍රේමදාසගේ ඇසුර බාධාවක් කර ගත්තේ නෑ.
කොහොමද ආර්. ප්‍රේමදාසව හඳුනාගත්තේ?
අපේ සිංහල පෙරමුණේ රැස්වීමක් තිබුණ ගම්‍පොළදි.  ගැටඹේ පන්ස‍ලේ ලබුදූවේ සිරිධම්ම, මාත‍ලේ ශාසන තිලක, වැල්‍ලේතොට පඤ්ඤාදස්සි යන නාහිමිවරුන්, මහාචාර්ය ඇෆ්.ආර්. ජයසූරිය, මහාචාර්ය ඒ.ඩී.බි. ජයතිලක, හිටපු මිනුම්පති සී.ටී. ගුණවර්ධන ඇතුළු ප්‍රභූවරුන් රැසක් රැස්වීමට පැමිණියා. Alle-gunawansha-himi1ඒ කා‍ලේ ආර්. ප්‍රේමදාස අගමැති හා නිවාස ඇමැතිවරයා. මම ගම්‍පොළ රැස්වීමේ දී කීවා අපේ අගමැතිතුමා ගම් හැදුවට ඔහුම ගම් කනවා කියලා. පිටරට කවුරු හරි මිනිහෙක්.... චූන් කියන මිනිහෙක්  ලක්ෂ දහයක් දුන්නාම අගමැති ඒ සල්ලිවලින් ගම හදලා චූන්ගම කියලා ගමේ නම දානවා කියලා මා දොස් කීවා. රැස්වීම අවසන් වෙලා රාත්‍රී එකොළහට පමණ මම කොළඹට වැඩම කළා. ටික වේලාවකට පසුව පන්ස‍ලේ දුරකථනය නාද වුණා. කවුද මහ රෑ කතා කරන්නේ කියලා බලන්න මම රිසිවරය ඉස්සුවා. 
කවුද කතා කළේ?
ස්වාමීන් වහන්ස මම ප්‍රේමදාස කියලා කතා කරපු පුද්ගලයා කීවා. මම හිතුවේ නෑ අගමැති කියලා. ඒ නිසා මම මොන ප්‍රේමදාස ද කියලා පෙරළා ඇසුවා. මම රණසිංහ ප්‍රේමදාස ස්වාමීන් වහන්ස කීවා. ආ අගමැතිතුමානේ කියලා මමත් කතාවට මුල පිරුවා. අද ගම්‍පොළදී හොඳ කතාවක් කළා නේද කියලා ඔහු කීවා. හොඳද නරකද කියලා මම දන්නේ නෑ හැබැයි  කතා නම් කරලා ඔබතුමාටත් ටිකක් බැන්නා කියලා කීවා. නෑ නෑ ඒක හොඳ කතාවක්. ඒ කතාවෙන් පස්සේ තමයි මටත් මතක් වුණේ කියූ අගමැතිවරයා මහ රෑම මාව හමුවෙන්න පුළුවන්ද? මම ඔබ වහන්සේට අබ මලකවත් හානියක් නොවන විදියට එන්නම් කියලා ඇහුවා. ඒ වේලාවේ මාත‍ලේ ශාසනතිලක නායක හාමුදුරුවොත් පන්ස‍ලේ සිටියා. මම උන්වහන්සේගෙන් ඇහුවා අගමැතිතුමා එන්න අහනවා මොකද කියන්නේ කියලා. නායක හාමුදුරුවෝ කීවා එන්න කියන්න කියලා.
එදා රෑ ප්‍රේමදාස ආවේ කොහොමද?
මහ රෑ ජටාවක් හිසේ ගැටගහගෙන මයිනර් කාර් එකකින් තමයි අගමැතිවරයා පන්සලට ආවේ. ඔහු බෑගයක දමාගෙන මල් ගෙනවිත් තිබුණා. ඊට පස්සේ ඔහු බුදුන් වැඳලා තමයි මට කතා කළේ. යළිත් වරක් මගේ කතාවට හොඳ කියලා අගමැතිවරයා මගෙන් ඉල්ලීමක් කළා. එතුමා හදන ගම්වලට දාන්න සිංහල නම් ටිකක් හදලා දෙන්න කියලා. එතැනින් තමයි ප්‍රේමදාස සමග සබඳතාව පටන් ගත්තේ.
ඒ වන විටත් මම ගාමිණි දිසානායක සමග මහවැලියේ ජනපද ගොඩනැගීමේ වැඩ කරමින් හිටියේ. මාදුරුඔය ජලාශය ඉදිකර ජනපද හැදූ පසු අප එහි විශාල බුදු පිළිමයකුත් නිර්මාණය කළා. මහවැලි ගම්වල පන්සල් ගොඩනගන්න  ඉඩම් වෙන් කළා. මහවැලියේ ගම් හැදීමේ අත්දැකීම් තිබෙන නිසා ප්‍රේමදාස අගමැතිවරයාගේ ඉල්ලීමත් මා පිළිගත්තා. ථෙරපුත්ගම, සුරනිමලගම වැනි ගම්වලට නම් දැම්මේ මමයි.
පසුකලක ආර්. ප්‍රේමදාස හා ඔබ වහන්සේ අතර ඇති වූයේ සමීප සබඳතාවක්?
ප්‍රේමදාස මගේ කිට්ටු මිතුරෙක් වුණාට අඩුම තරමේ මම ඔහුගෙන් ගිලන් පස කෝප්පයක් හරි වළඳලා නෑ. ඒ මගේ හැටි. මම කාගෙන්වත් පෞද්ගලික උදව් ඉල්ලලත් නෑ. ඉල්ලන්නෙත් නෑ. හැබැයි මම එක වතාවක් ජනාධිපතිවරයාගෙන් උදව්වක් ඉල්ලුවා.
මොකක්ද ඒ උදව්ව?
රූපවාහිනිය ලංකාවට හඳුන්වා දීමෙන් පසුව දරුවන් හැම දෙයක්ම කළේ රූපවාහිනියෙන් යන වැඩසටහන් බලලානේ. අන්තිමේදී මේක මහා විනාශයක් වුණා. දවසක් ජනාධිපතිවරයා පාන්දර මට කතා කළාම මා කීවා රූපවාහිනියට තෙරුවන් නමදිමු කියලා වැඩසටහනක් දාමු කියලා. එම යෝජනාව  පිළිගත්  ඔහු එය ක්‍රියාත්මක කළා. ඒ කාලයේ රූපවාහිනියේ නිවේදක නිවේදිකාවන් දෙමළ නම් ‍පොට්ටු තියනවා. කතෝලික නම් කුරුස කරේ දාගන්නවා. මම ප්‍රේමදාස ජනාධිපතිවරයාට කීවා සියලු දෙනාම නරඹන ප්‍රවෘත්ති වැඩසටහන්වලදි ආගමික ලකුණු පෙන්වීම වැරැදි වැඩක් කියලා. ජනාධිපතිවරයා ඒ වෙලාවේ මට කීවේ මේ වැඩේ නතර කරන්න ගියොත් මටත් තොප්පියක් වැටෙනවා එහෙම වුණොත් මාව බේරා ගන්න කියලා. ජනපතිවරයා කිවූ විදියටම කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී  එක්තරා මාධ්‍යවේදියෙක් මේ තහනම ගැන කැබිනට් ප්‍රකාශක ඒ.ජේ රණසිංහගෙන් ප්‍රශ්න කරලා ඇහුවා කුරුසේ තහනම් කරනවා නම් පිරිත් නූල රූපවාහිනියේ පෙන්වන එක හරිද කියලා. ඒ.ජේ. රණසිංහට ඒකට දෙන්න උත්තරයක් නැතිව මට දුරකථනයෙන් කතා කරලා ඇහුවා මොකද කියන්නේ කියලා. පිරිත් නූල කියන්නේ ආගමික ලකුණක් නොව ආශිර්වාදාත්මක දෙයක් කියලා උත්තර දෙන්න කීවා. ඒ.ජේ. එදා බේරුණේ මගේ උත්තරයෙන්.
ඔබ වහන්සේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මරණය දැන ගත්තේ කොහොමද?
ඒ වෙලාවේ රත්නසිරි රාජපක්ෂ මහත්තයා හිටියේ මගේ පන්ස‍ලේ. බෝම්බ පිපිරීමක් ගැන ඔහුට ආරංචියක් ලැබුණා. නමුත් අප දැනගෙන හිටියේ නෑ ජනාධිපතිතුමාත් බෝම්බයට අහුවෙලා කියලා. මේ සිද්ධිය බලන්න මමත් රත්නසිරි රාජපක්ෂත් ආමර් වීදියට යනකොට ‍පොලීසියෙන්  මට කීවා යන්න එපා හාමුදුරුවනේ කියලා. එතකොට තමයි දැනගත්තේ ජනාධිපතිතුමා නැතිවෙලා කියලා. ඊට පස්සේ මම සුචරිතයට ගියා. එදා තමයි මම ජනාධිපතිවරයාගේ ගෙදරට ගිය මුල්ම දවස.
ජනාධිපතිතුමාගේ මරණින් පසුව තුන්මාසේට, අවුරුද්දට සමහරු දාන පින්කම් ලෑස්ති කළා. ඒ පින්කම් කරපු උදවියම තමයි ජනාධිපතිවරයා ජීවත් වෙලා ඉන්න කාලයේ ඔහුට එරෙහිව ‍පොල් ගැහුවෙත්.
ප්‍රේමදාස ඝාතනයෙන් පසු ඔහුගේ විශ්වාසවන්තම සගයා වූ සිරිසේන කුරේ සිටියදී රනිල් වික්‍රමසිංහ අගමැති වුණේ කොහොමද?
ආර්. ප්‍රේමදාසගේ ඝාතනයෙන් පසු ව්‍යවස්ථානුකූලව ඩී.බි. විජේතුංග ජනාධිපති වුණානේ. ඊට පස්සේ හැමදෙනාම කල්පනා කළේ අගමැති කවුද කියලා. අගමැති තෝරන්න ජනාධිපති ‍ලේකම්  කාර්යාලයට පැමිණි එජාපයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් යෝජනා කළේ සිරිසේන කුරේගේ නමයි. ඒ වෙලාවේ අනේ මට ඕන අගමැතිකමක් නෑ. රනිල්ට දෙන්න කියලා  සිරිසේන කුරේ කීවා. සිරිසේන කුරේ එහෙම පරිත්‍යාගයක් කළත් ඔහුව රනිල් පහර දී පක්ෂයෙන් එළවා ගත්තා. කෙසේ නමුත් සිරිසේන කුරේ නම් තවමත් එදා වගේ සතියකට දෙතුන් වතාවක් අපේ පන්සලට ඇවිත් සැපදුක් විමසලා යනවා.
එජාප නායකයන් සමග සමීප ඇසුරක් පැවැත්වූ ඔබ වහන්සේ රනිල් වික්‍රමසිංහ පාලන සමයේ කැපී පෙනුණේ නැත්තේ ඔහු සමග විරසක නිසාද?
නෑ. රනිල් සමග මගේ කිසිදු තරහක් නෑ. ඔහු අදත්  හමුවුණොත් කතා කරනවා. හැබැයි රනිල්ට වැරදුනා.  ඔහුට රටේ නාඩි වැටෙන හැටි තේරෙන්නේ නෑ. කවුරුවත් කියන දෙයකට ඇහුම් කන් දෙන්නේත් නෑ. නමුත් රනිල්ට බණින ගමන්ම එක කාරණාවක් අවධාරණය කළ යුතුයි. ඔහු හොරෙක් හෝ වංචාකාරයෙක් නොවේ. රනිල් කියන්නේ උගතෙක්.
ගාමිණි දිසානායකගේ මරණය වූ වෙලාවේ ඔබ වහන්සේ කොහේද හිටියේ?
එදා ෙදෙවෝපගත සිද්ධියක් වුණා. මම කවදාවත් දේශපාලන වේදිකාවලට ගිහින් කතා කරන්නේ නෑ. එනමුත් ගාමිණිගේ අවසාන රැලිය තිබූ   තොටළඟට එන්න කියලා ඔසී අබේගුණසේකර මට කතා කළා. මමත් මුස්ලිම් ජාතික මිතුරෙකු සමග තොටළඟට යන විට එහි තිබුණේ අඳුරු කාලගුණයක්. පරිසරය හරිම ගුප්තයි. එතැන මට ඇල්ලුවේ නෑ. මම ඔසීටත් කියලා යළිත් වරක් පන්සලට ආවා. ඒ වේලාවේ තමයි බෝම්බ ප්‍රහාරය ගැන ආරංචි වුණේ. මම මෝචරියට ගියා එතුමාගේ  මෘත දේහය බලන්න.
ඔහුගේ හදිසි මරණය ඔබ වහන්සේ දරා ගත්තේ කොහොමද?
ඔහු මේ රටේ ජනාධිපතිවරයා නොවී අකාලයේ මිය යාම ගැන අදටත් මා දුක් වෙනවා. ඔහුගේ මරණය මට දරාගන්න බැරි  තරමේ කම්පාවක් ඇතිකළා. එදා රෑ මම ඇඬුවා. ඒ විතරක් නොවේ නවීන් දිසානායක ඇමැති ධුරයේ දිව්රුම් දීලා මුලින්ම ආවේ මගේ පන්සලටයි. ඒ වෙලාවේ ගාමිණි මතක් වී අපි දෙන්නාටම ඇඬුනා.
Alle-gunawansha-himi2කෙසේ නමුත් අනූ හතරේ දී රටේ ජනාධිපති ධුරයට පත්වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.
කවුරුත් නොදන්න කාරණාවක් චන්ද්‍රිකා හා මා අතරේ තිබුණා. මැතිනිය අගමැතිනිය කා‍ලේ  චන්ද්‍රිකා තරුණියක්. ඇය ගිරිජා රාජපක්ෂ කියන මහත්තයකුට අවංකව ආදරය කළා. ඔහු ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහත්තයලාගේ කිට්ටු නෑයෙක්. ගිරිජා  රාජපක්ෂ කියන්නේ බොහෝම හොඳ මහත්තයෙක්. දවසක් අලුයම දෙකට විතර මගේ පන්සල ඉදිරිපිට විශාල ශබ්දයක් ඇසුණා. කුරුඳුවත්තේ  අය ඔය වගේ දේවල්වලට එළියට බැහැලා බලන්නේ නෑනේ. නමුත් ශබ්දය ඇසුණු හැටියේම මම එළියට බැහැලා බලන කොට තමයි රිය අනතුරක් වෙලා කියලා දැන ගත්තේ. මෝටර් රථයක් කරත්තෙක වැදිලා බස් නැවතුම් ‍පොළක් කඩාගෙන ගොස් පාරෙන් ඉවතට පැන තිබුණා. එහි සුක්කානම බදාගෙන තරුණයකු හුන්නා. මම මෝටර් රථය පරීක්ෂා කරන විට එහි ගිරිජා රාජපක්ෂ කියන නමින් ලියකියවිලි තිබුණා.
ඒ වෙලාවේ පාරේ ගිය බවුසරයක් නවත්වලා අනතුර ‍පොලීසියටත් දන්වලා රෝගියා මෝටර් රථයක දමාගෙන රෝහලට ගෙන ගියත් ඔහු මිය ගියා. ඊට පස්සේ  මම මරදාන ද සේරම් පෙදෙසේ සිටි ගිරිජා රාජපක්ෂ මහත්තයාගේ ඥාතියකුගේ ගෙදරට ගිහින් රිය අනතුර ගැන දැනුම් දුන්නා. ඒ වෙලාවේ තමයි මම දැන ගත්තේ මම රෝහලට ගෙන ගියේ චන්ද්‍රිකාගේ පෙම්වතා කියලා. මේ මරණය ගැන ‍පොලීසියට කට උත්තර දුන්නෙත් මමයි.
ඊට පස්සේ ඔබ වහන්සේ මොකද කළේ?
අනුර  මගේ ළඟ යහළුවෙක්. මහ රෑම අනුරට කතා කරලා රිය අනතුර ගැන දැනුම් දුන්නා. අනුරත් ඒ ගැන කම්පා වුණා. ඔහු හොඳ හදවතක් තිබූ අයෙක්. පසු දින  පාන්දරම චන්ද්‍රිකාත් මගේ පන්සලට ඇවිත් පෙම්වතා ගැන විස්තර කිය කියා දුක් වුණා. ඇය මගේ  පන්ස‍ලේ දී  පෙම්වතා වෙනුවෙන් දානයකුත් දීලා පින් දුන්නා. මේ සිද්ධිය නිසා චන්ද්‍රිකා මම හොඳින් දන්නවා. නමුත් මගේ ලොකුම සම්බන්ධය තිබුණේ මැතිනිය සමගයි. ඇය ඉතාම ශ්‍රද්ධාවන්ත මහෝපාසිකාවක්. මම එතුමියට අදත් පින් දෙනවා.
ඔබ වහන්සේගේ පන්සල දේශපාලනයේ තිරය පිටුපස වූ රහසිගත වැඩවලට බොහෝ ප්‍රසිද්ධයි.?
මම ඒ හැම වැඩක්ම කළේ පක්ෂ දේශපාලනය නොව රට ජාතිය ආගම ගැන හිතලා. චන්ද්‍රිකා  කුමාරතුංගගේ ආණ්ඩුව රැක ගන්න මම බොහෝ දේ  කළේ රනිල් බලයට පත් වුවොත් මහා විනාශයක් වන බව දන්නා නිසයි. එජාපයේ හුන් සරත් අමුණුගම, නන්ද මැතිව්, විජයපාල මෙන්ඩිස් ඇතුළු  මන්ත්‍රීවරුන් පිරිසක් ‍පොදු පෙරමුණට ගන්න අවුරුද්දක් පුරා සාකච්ඡා කෙරුණේ මගේ පන්සල ඇතුළේ. මම එජාප මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සම්බන්ධ කරලා තමයි එදා චන්ද්‍රිකා රජය රැක ගත්තේ.
විමල් වීරවංශත් ආණ්ඩුවට ගැනීමට කපුකම කළේ ඔබ වහන්සේද?
නෑ. නමුත් ඔහු ආණ්ඩුවට යන බව මා දැනගෙන හුන්නා. මම විමල් වීරවංශලා එක්ක එකතු වුණේ දෙදහස් දෙකේ  දී. දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය ගොඩ නැගූ වෙලාවේ දී  එම ව්‍යාපාරය හරහා ජනතා විමුක්ති පෙරමුණට සිංහල බෞද්ධ මුහුණුවර දුන්නේ මමයි. දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ ආරම්භක රැස්වීම අනුරාධපුරයේ  පැවැත්වූ දවසේ මම ජවිපෙ නායකයන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ හුන් මහ මළුවට රැගෙන ගොස්  පන්සිල්  සමාදන් කෙරෙව්වා.
ඔබ වහන්සේ ඇයි එවැනි වැඩපිළිවෙළකට සම්බන්ධ වුණේ?
මව්බිම රැක ගන්න. දෙදහස් දෙකේදී බලයට පත් වූ එජාප ආණ්ඩුව දේශීය සම්පත් බහුජාතික සමාගම්වලට විකුණන්න ගත් උත්සහය නතර කර ගන්න තමයි අප මේ ව්‍යාපාරය පටන් ගත්තේ. විමල් වීරවංශ, අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙ මන්ත්‍රීවරුන් ඒ සඳහා සාකච්ඡා කළේ මගේ පන්ස‍ලේ.
කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ වැටෙනවාට මම විරුද්ධයි.  මට දුකයි. ජවිපේ රැක ගත යුතුයි කියන මතයකත් මම සිටිනවා. 
මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සමග ඇත්තේ කුමන සබඳතාවක්ද?
මම එතුමාව දන්නේ බොහෝ කලක පටන්. එතුමා විදේ‍යාදය විශ්වවිද්‍යාලයේ  රැකියාව කරන කාලයේ අපේ පන්සලට මරදාන ශ්‍රී ලංකා මහ පිරිවෙනට  ආව ගියා. හැරත් ඔහු අනුර බණ්ඩාරනායකගේ හොඳම යාළුවානේ. ඒ සබඳතාව නිසාත් හැටේ හැත්තෑවේ කාලයේ  පටන්ම අප අතර කිට්ටු සබඳතාවක් තිබුණා. ඔහු හොඳ සිංහල බෞද්ධයෙක්. යුද්ධය දිනා ගැනීමට නම් ඔහු වැනි නායකයකු රැකගත යුතු බව මා කල්පනා කළා.
කවුද ඔබ වහන්සේට වෙඩි තැබුවේ?
එක පාරක් නොවේ. කීප වතාවක් මාව ඝාතනය කරන්න උත්සහ කළා. වෙඩි තැබුවා, එල්.ටී.ටී.ඊ. එකින් පන්සල ඇතුළට ඇවිත් වෙඩි තැබුවා. තවත් සැරයකදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් පන්සලටම ඇවිත් බෝම්බ පුපුරවා ගත්තා.
එතකොට වස දුන්නේ කවුද?
ඒක ඉතින් පන්සලකදීම වූ වැඩක්.  ඒ හැම සිද්ධියකින්ම මම ජීවිතය බේරා ගත්තා.
ඔබ වහන්සේ දැන් මොනවද කරන්නේ.?
මම මේ මොහොතේත් රට ජාතිය ආගම වෙනුවෙන්  කළ යුතු  දේ  කරනවා කිව යුතු දේ කියනවා, ජනපති අගමැති  මැති ඇමැතිවරුන් ඇසුරු කළත් මම ඔවුන් කියපු දේ කවදාවත් කරපු අයෙක් නොවේ. මා රට වෙනුවෙන් මට ඕනෑ දේ ඔවුන් ලවා ඉටු කර ගත්තා. මම දැන් ආබාධිත රණවිරුවන්ගේ සුබ සාධන කටයුතු සඳහා බොහෝ  දේ කරනවා.

-lakbima newspaper-

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos