‘කොලෙස්ටරෝල්’ වැඩි වූ විට සෑම උදයකම කිලෝ මීටර පහක් ඇවිදින්න යැයි වෛද්‍යවරු උපදෙස් දෙති. මේ නිසා ඇඟේ තෙල බස්සවා ගන්නට උදේ ට ඇවිදිති.
සමහරු කනේ ‘ඉයර් ෆෝන්’ සවිකර ගෙන ‘ස්ටයිල්’ එකටත් ඇවිදින්නට යති. තවත් සමහරු ඇවිදින ගමන් මනමාලකමේ ද යති. අනුරාධපුරයෙන් මේ වාර්තා වන්නේ එවැනි අන්දරයකි.
සුදු දිග කලිසමකින් ද, සුදු ටී ෂර්ට් එකකින් ද, එතැනින් නොනැවතී සුදු පාවහන් යුගකින් ද සැරසෙන ඔහු දිනපතා ව්‍යායාම පිණිස නිවසේ සිට සැතපුම් තුන හතරක් මහ මග ගමන් කරන්නේ මහත් උජාරුවෙනි. තමා පසුකර යන්නන් දෙස ආපසු හැරී බලා පය ඉක්මන් කිරීම ඔහුගේ පුරුද්ද විය.
“අරූට පිස්සු හැදිලා. උදැල්ලක් අරගෙන හේනක් කුඹුරක් කොටපියකෝ දාඩිය යන්න. මූ ලොකුකම පෙන්නන්න හක්මන් කොරනවා” යැයි ඔහු දෙස බලමින් ගමේ වැඩිහිටියෝ කියති.
ව්‍යායාමයට ඇවිදින අතරවාරයේ මහ මග අයිනේ නිවසක සිටින රූබර කතකට ඔහු බැල්ම හෙළයි. ඒ නිවස දෙස බලන ඔහුගේ ගමන බාලවෙයි. මේ කත ඇගේ සැමියාට මෙසේ පවසා තිබිණි. “අන්න අර මිනිහට අමුතු ලෙඩක් හැදිලා..උදේ පාන්දර මම අතුගාන කොට ඒකා උගුර පාදනවා වැඩියි.”
මේ කියන දිනයේ ද තම ‘ගොදුර’ දෙස බලමින් ඔහු ඒ නිවස ඉදිරිපිටදී ගමන බාල කළේය. ඒ සමග ම ඔහු වෙත කඩා පැන්න ඇගේ සැමියා ඔහුට හොඳ හැටි ගුටි දෙන්නට විය. ඒ පහරවලින් ඔහු දුර්වල වූ පසු ඔහුගේ සුදු කලිසම ද, කමිසය ද, සපත්තු ද ගලවා දැමිණි.
“මින් පස්සේ තෝ මේ පාරේ ආවොත් අඬු කඩනවා” යැයි සැමියා ගර්ජනා කරද්දී ව්‍යායාම පසෙක ලූ ඔහු යට ඇඳුම පිටින් කැළෑ පාරවල් දිගේ නිවසට දිව ගියේය.
ඔහු දැන් ව්‍යායාමයේ යන්නේ නැත. ඒ වෙනුවට බිරිඳගේ ද, දරුවන්ගේ ද, නෑදෑයන්ගේ ද අඩන්තේට්ටම්වලට ගොදුරු වී සිටී.