-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සභාපතිත්වය හිමි කර දෙමින් ‍පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පසුගිය සතියේ සාර්ථක ලෙස නිමාවට පත්විය. ‍පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවෙන් අනතුරුව ‍පොදු රාජ්‍ය මණ්ඩල මහ ‍ලේකම් කම‍ලේෂ් ෂර්මා මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් සකස් කර ජනාධිපතිවරයාට ලබාදෙන ලද ප්‍රකාශය මැනවින් සකස් කර තිබූ එකක් බැවින් මාධ්‍යයට එතරම් ප්‍රශ්න මතුකිරීමේ අවශ්‍යතාවයක් මතු නොවීය.ජනාධිපතිවරයාගේ  ප්‍රධානත්වයෙන් පැවැති පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවට වඩා දෙවනුව පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව සාර්ථක බව බොහෝ දෙනාගේ අදහස විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 14 වැනිදා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සඳහා අරලියගහ මන්දිරයේ උපන්දින සාදයක් සංවිධානය කර  තිබුණේ චාල්ස් කුමරුගේ උපන්දිනය එදිනට යෙදී තිබුණ බැවිනි. මෙම අවස්ථාව සඳහා චාල්ස් කුමරු මෙන්ම බිරිඳ කැමිලා පාකර් මහත්මිය ද සහභාගි විය. ආරාධිතයන් දෙපළ ජනාධිපතිවරයා පිළිගත්තේ දෙඅත් එක්කර ආයුබෝවන් කියමිනි. උපන්දින කේක් ගෙඩිය කැපූ චාල්ස් කුමරු විනාඩි තිහකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා හා කතා බහේ යෙදී සිටියේය. උපන්දින සාදය සමන්විත වී තිබුණේ දේශීය ආහාරවර්ග වලිනි. එහි තිබූ කළුදොදොල් චාල්ස් කුමරුගේ විශේෂ ඇගයීමට ලක්ව ඇත. පැමිණි රාජ්‍ය නායකයන් සියලුදෙනාට ජනාධිපතිවරයා විසින් පවත්වන ලද භෝජන සංග්‍රහය පසුගිය 16 වැනිදා අරලියගහ මන්දිරයේ දී පැවැත්වීය.
‍පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවෙන් පසු ජනාධිපතිවරයා පසුගිය සතියේ අඟහරුවාදා මේ රටේ මාධ්‍ය ප්‍රධානීන් සහ ‍පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ආවරණය කළ මාධ්‍යවේදීන්ට උදෑසන ආහාරය සඳහා සහභාගි වෙන ලෙසට ආරාධනා කළේය. මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු ඇමැති ජී.එල්. පීරිස්, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ද සහභාගි වී සිටියේය.


‍පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව 
පිළිබඳ ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් සමග සුහද කතා බහක යෙදී සිටියේය.
“චෝගම්  එකනම් හොඳට කෙරුණා. ඒත් ඉතින් අන්තිමට ගොම බිංදුවක් වැටුණා.” යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.


ඔහු ඉන් අදහස් කළේ ඩේවිඩ් කැමරන් ගේ ප්‍රකාශය බව මාධ්‍යවේදින්ට ඒත්තු ගියේය. “නමුත් ඕස්ට්‍රේලියා අගමැති, සිංගප්පූරුවේ අගමැති චැනල් ෆෝ නාලිකාවට දීපූ ප්‍රකාශ ලංකාවට හුඟක් වැදගත්” මාධ්‍ය ප්‍රධානින් කියා සිටියේය. එය අනුමත කළ ජනාධිපතිවරයා රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ටද ඒ ගැන අවධානය යොමු කරන ලෙසට කීවේය. කටුනායක කොළඹ හයිවේ එකෙන් වංචා ගොඩාක් වෙලා තියෙනවා, කියලා තිස්ස අත්තනායක මහත්තයා කියලා තිබුණා.  මාධ්‍යවේදියෙක් කීවේය. “මේ පාර හදන්න පටන් ගත්තේ 1969 දී. මේක හදන්න කියල වරින් වර සල්ලි අරන් තියෙනවා නමුත් ඒ සල්ලිවලට වුණ දෙයක් නෑ. මම ඊයේ පෙරේදා මහ  බැංකුවෙන් ගෙන්වාගෙන බැලුවා ‍පොලි සහ වාරික ගෙවන ආකාරය. එක්වරක් ජපානයෙන් යෙන් මිලියන ගාණක් අරන් තියෙනවා. ඒවාට වුණ දෙයක් නෑ. මම මේ කට්ටියට කිව්වා ෆයිල් ටික එකතු කරන්න කියලා. මොකද වුණේ බලන්න.”  ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙමින් කීය.


විදේශ රාජ්‍ය නායකයන් සඳහා භෝජන සංග්‍රහයක් පැවැති විචිත්‍රවත් ලෙස සකස් කරන ලද ශාලාව කාගේත් ඇගැයුමට ලක්විය. මේක මාස දෙකකින් විතර හැදුවේ. ‍පොදු රාජ්‍ය මණ්ඩලයට හදපු එකක් නොවෙයි. මේක මේ මම ඉස්සර ඉඳන් දන්සල් දීපු තැන. පසුගිය කා‍ලේ ටික ටික හැදුවා. ජනාධිපතිවරයා සිනහසෙමින් කියා සිටියේය. ආපු අය මගෙන් අහනවා නෙළුම් ‍පොකුණත් හැදුවේ ‍පොදු රාජ්‍ය මණ්ඩලයටද කියලා.”  මම කිව්වා ඒක කලින් හදපු එකක්. ඊටත් 1979 හදපු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තමයි සමුළුව තියන්නේ කියලා. අනිත් එක වෝටර්ස් එජ් එක. ඒකත් කලින් හදපු එකක් බව මම ඔවුන්ට ප්‍රකාශ කළා. සමහර අප්‍රිකානු රටවල නායකයෝ කොළඹ සංවර්ධනය ගැන පුදුම වුණා. රටට එනතෙක් මෙතරම් සංවර්ධනයක් ඇතැයි කියලා ඔවුන් විශ්වාස කර තිබුණේ නෑ. ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේය.


යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී නිරන්ජන් දේවාදිත්‍ය මහතාගේ නිවසේ පසුගිය සිකුරාදා රාත්‍රියේ සුහද හමුවක් පැවැත්විණ. මේ සඳහා ආණ්ඩුව නියෝජනය කරමින්  නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මැති ඇමැතිවරුන්ද එ.ජා.ප.ය නියෝජනය කරමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහභාගි විය. මෙම සුහද හමුව පැවැතියේ බ්‍රිතාන්‍ය විදේශ ඇමැති විලියම් හේග් මහතා වෙනුවෙනි. එහිදී එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප. මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාව හේග්ට හඳුන්වා දුන්නේය. 
“මේ තමයි අපේ දෙවන විධායක  ජනාධිපතිතුමාගේ පුතා. අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මෙතුමාගේ පියා ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගියා.” රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. 


මේ අතර පසුගිය සෙනසුරාදා එ.ජා.ප. හිටපු මන්ත්‍රී කේ. වේලායුදන් මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවය කොටහේන ප්‍රදේශයේදී පැවැත්විණ. එය කලින් වැල්ලවත්තේදී පැවැත්වීමට නියමිතව තිබුණත් චෝගම් නිසා ඇතිවන මාර්ග තදබදය නිසා එය කොටහේනට ගෙන ගොස් තිබිණ. නමුත් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, තිස්ස අත්තනායක යන මහත්වරුන්ද මාර්ග තදබදයට හසු වී කොටහේනට යන විට තුන පසු වී තිබිණ. තැන මාරු කළත් තමන්ගේ උත්සාහය අසාර්ථක වූ බව වේලායුදන් මහතා කියා සිටියේ ආරාධිතයන්ට නියමිත වේලාවට මංගල උත්සවයට ඒමට නොහැකි වූ නිසාය.


එදින රාත්‍රියේ කොළඹ සිනමන් ‍ලේක් හෝටලයේදී එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ, රවි කරුණා නායක, දයා ගමගේ යන මහත්වරුන් ඉන්දීය විදේශ ඇමැති ඇතුළු නියෝජිත පිරිස මුණගැසිණ එහිදී ඔවුන් පැහැදිළි කරනු ලැබුයේ චෝගම් සමුළුව සඳහා එ.ජා.ප.ය සහභාගි නොවීමට හේතුන්්ය. ඉන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා චෝගම් සමුළුවට සහභාගි නොවීමට හේතුව තමිල්නාඩුවේ තත්ත්වය පිළිබඳවද ඔවුන් කරුණු පැහැදිළි කළේය.


උපකාරක පන්ති ගුරුවරුන්ගේ  විශේෂ හමුවක් පසුගිය 17 වැනිදා සිරිකොතදී පැවැත්විණ. මෙහි මුලසුන ගත්තේ එ.ජා.ප. මහා ‍ලේකම් තිස්ස අත්තනායක මහතාය. එහිදී ‍පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන්ද කතා බහ ඇදී ආවේය. “චෝගම් එක හරහා වුණේ ජාත්‍යන්තරයට ලංකාවට අත‍පොවන්න අවස්ථාව ලැබුණ එක විතරයි. මනමේ නාඩගමේ වගේ කොපුව අපිට දීලා කඩුව කැමරන් අරන් ගියා.” තිස්ස කියා  සිටියේය.  බොදු බල සේනා සංවිධානය පසුගිය සතියේ එ.ජ.ප. මූලස්ථානය වෙත ගියේ උන්වහන්සේලාට කළ පහරදීමට විරෝධය  පළකිරීම සඳහාය. උන් වහන්සේලා  එහි යන විට සිරිකොත මන්දිරයෙන් පිරිත් වාදනය කෙරිණ. අපිට අපේ මතය කියන්න ඉඩදෙන්න. පක්ෂයේ අර්බුද ඇති කරන්න නොවෙයි අපි ආවේ.” බොදු බලසේනා සංවිධානයේ නායක හිමිවරු කියා සිටියහ. ඒ අනුව එ.ජා.ප. මහා ‍ලේකම් තිස්ස අත්තනායක මහතා සිරිකොත පරිපාලනයට කතා කොට පිරිත නතර කරන ලෙස උපදෙස් දුන්නේය. අනතුරුව එතැනට ගිය රවි කරුණානායක, දයා ගමගේ, රුවන් විජේවර්ධන යන මහත්වරුන් උන්වහන්සේලාගෙන් සමාව ගැනීමත් සමග තත්ත්වය සමථයකට පත්විය. 


එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට මාපිලෙක් පැමිණීම අය වැයදා පාර්ලිමේන්තුවේ බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුමේ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, රාජිත සේනාරත්න, රවි කරුණානායක, වීර කුමාර දිසානායක යන මහත්වරුන් කතා බහ කරමින් සිටියේ මාපිලාගේ පැමිණීමය.


“අපේ විපක්ෂ නායකතුමාගේ ‍ලේ බිව්වොත් මාපිලාටයි මැරෙන්න වෙන්නේ, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේය.


එයාගේ ‍ලේ බිව්වා නම් මාපිලාටයි කලන්තේ දාන්නේ” රාජිත කීවේය. 
“ මාපිලාට  බොන්න ‍ලේ එතුමාගේ ඇඟේ  නැහැ. පක්ෂයේ අතුළේම අය එතුමාට ගහන ගැහිල්ලට එතුමාගේ ‍ලේ ටික පිච්චිලා ඇත්තේ” වීරකුමාර දිසානායක මහතා කී දේ අනුමත කරමින් කතා කළ රවි කරුණානායක මහතා කීවේ ඒ කතාවේ නම් ‍පොයින්ට් එකක් ඇති බවය. 


ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව පසුගිය 18 වෙනිදා රැස් වූයේ පැලවත්තේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදීය. පක්ෂ නායක සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් පැවැති එම රැස්වීමේදී 2014 අයවැය පිළිබඳවත් ‍පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ පසු තත්ත්වයත් සාකච්ඡාවට ගැනුණි.
“මේ අය වැයත් සීනිබෝල,  ටොෆිි, චොකලට් අයවැයක් වෙනවාට සැකයක් නෑ. වැටිලා තියෙන ආර්ථිකය ගොඩගන්නවත් ජනතාව මේ වලෙන් එක අඩියක්වත් උඩට ගන්නවත් පුළුවන් වෙයි කියලා නම් හිතන්න බැහැ. විසර්ජන පනතේ තියෙන විදියට පවු‍ලේ ආයතනවලට තමයි වෙන් කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ අයවැය ගැන පූර්ව නිගමනයක් ලැබිලා තියෙන්නේ. අනික මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරපු අයවැය කතා කීයක් අපි ඇහුවාද? අනුර දිසානායක කියා සිටියේය.


“ අපි ඔය මහින්දගේ පම්‍පෝරිය අහන්න යන්න ඕනෑද? අයවැය කතාව වර්ජනය කරමු.” ලාල් කාන්ත යෝජනා කළේය. ජ.වි.පෙ. විදියට අපි අය වැය කතාව වර්ජනය කරන එක ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමගත් මේ ගැන සාකච්ඡා කරන්න ඕනෑ. එතකොට යූ.එන්.පී. එක ඇතුළු විපක්ෂයේ අනෙක් පක්ෂ මොකක් කරයිද?” විජිත හේරත් කියා සිටියේය.
“ ඒ ඒ පක්ෂ ඒක තීරණය කරයි. අපි මේක කරමු” අනුර දිසානායක කියා සිටියේය.” ඒත් අයවැය විවාදයට මොකද කරන්නේ” හඳුන්නෙත්ති විමසීය. “අපි අයවැය කතාව වර්ජනය කරමු. ඒත් අය වැය විවාදයට යන්න ඕනෑ. අය වැය කතාවෙන් කියන බේගල් ටික ජනතාවට නිවැරදිව පැහැදිලි කරලා දෙන්න ඕනෑ. ආණ්ඩුව කොහොමත් මේක ආලවට්ටන් දාලා තේරුම්ගන්න අමාරු විදියට තමයි ගේන්නේ. ඒ නිසා විවාදෙට යන්න ඕනෑ. මේ අයවැයෙන් ආර්ථිකය ගොඩගන්න බැරි බව ජනතාවට පැහැදිළි කරන්න ඕනෑ.” අනුර දිසානායක පිළිතුරු දුන්නේය.


‍පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව අවසන් වුවද තවමත් ඒ සම්බන්ධයෙන් වන විවේචන අවසන් වී නෑ. 
මේ සම්බන්ධයෙන්ද ජ.වි.පෙ. මධ්‍යම කාරක සභාව තුළ කතාබහක් ඇතිවුණා. “ ආණ්ඩුව රටට මහ ලොකු සංදර්ශනයක් පෙන්නන්න හැදුවා. ඒත් අන්තිමට ඉතිරි වුණේ මොනවාද? මහින්දට ලැබුණ සභාපතිකමයි.” හා ලොකු මුදල් නාස්තියකුයි කැමරන්ගේ අනතුරු ඇඟවීමයි. පැකර්ගේ කැසිනෝ එකයි විතරයි.  බිමල් රත්නායක කියා සිටියේය.


මේකේ සභාපතිකම ගන්නවා කියන්නේ විළි ලැජ්ජා නැති වැඩක්. අපි බ්‍රිතාන්‍යයේ කොලනියක් කියලා පිළිගත්තා වගේ වැඩක්. හැබැයි මේ එක රාජ්‍ය නායකයෙකුගේ වත් කොන්ද පණ තිබුණේ නෑ. රැජිණ තවමත් මේකේ නායකකම බදාගෙන ඉන්න එක වැරදියි කියන්න. බ්‍රිතාන්‍යයේ රජ පවුල තවමත් යැපෙන්නේ යටත් විජිතවලින් කොල්ලු කාපු සම්පත්වලින්. ඒක කියා ගන්න කටවල්වල පණනැති වුණා. මේ නොවැම්බර් තමයි ඌව වෙල්ලස්ස ජනතා සංහාරයක් කළේ. ඒ මාසේ චාල්ස්ගේ  උපන්දිනේ සමරනවා මේ රටේ නායකයා. කැමරන් මානව හිමිකම් ගැන කතා කරනකොට ඌව වෙල්ලස්ස මතක් කරලා දෙන්න මහ ලොකු දේශප්‍රේමියාට බැරිවුණා.” සෝමවංශ අමරසිංහ දැඩි ස්වරයෙන් කියා සිටියේය.“ආණ්ඩුවට තවමත් චෝගම්වලට ගිය වියදම ගණන් හදාගන්න බැරිවෙලා. 2013 අයවැයෙන් මේකට මුදල් වෙන් කළේ නෑ. සාමාන්‍ය සම්ප්‍රදායට අනුව එහෙම කළ යුතුව තිබුණා. නමුත් දැන් ඒ වියදම පියවා ගන්න වෙන්නේ 2014 අයවැයෙන් කතා දෙකක් නෑ. එකම මාර්ගය බදු පමණයි. හඳුන්නෙත්ති කීය.”


ඩේවිඩ් කැමරන්ලාට මේ වගේ කතා කියන්න පාර කැපුවේ ආණ්ඩුවමයි. යුද්දේ ඉවර වෙලා වසර හතරකුත් ගෙවුණා. යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවට මොකද මේ ආණ්ඩුව කළේ. අපි යුද්ධය ඉවර වෙලා සතියක් යන්න කලින්වැඩපිළිවෙළක් ගෙනාවා. යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ගේ දුක්ගැනවිලි සොයා බලන්න සත්‍ය කොමිසමක් පත්කරන්න කිව්වා. ඒක මනෝවිද්‍යාත්මක අදහසක්. ඒත් ආණ්ඩුව ඒවා ගණන් ගත්තේ නෑ. දැන් ඒ වැරදිවලට වන්දි ගෙවන්න වෙලා. දැන් වෙන රටවල්වල බලපෑම්වලටත් වෙලා ඒ පරීක්ෂණ කරන්න එකඟ වෙනවා. කැමරන්ලා හිතාගෙන ඉන්නේ ලංකාව බ්‍රිතාන්‍යයේ කොලනියක් කියලා.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos