සිය දිවිපෙවත රැකගැනීම සඳහා ගණිකා වෘත්තිය වෙතට යොමුවන මෙරට උතුරු ප්‍රදේශයේ කාන්තාවන් ප්‍රමාණය වැඩිවී ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව වාර්තා කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂවාදී කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ සේවාවක් ලෙස සඳහන් irinnews.org වෙබ් අඩවිය විසිනි.
කාන්තාවන්ගේ ආදායම් මාර්ග වඩා ශක්තිමත් කර ගැනීමට ඔවුන් සමග කටයුතු කරන දේශීය ක්‍රියාකාරී කණ්ඩායම් වලට අනුව මෙවැනි කාන්තාවන් 7,000ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර තිබෙන බවද එම වෙබ් අඩවියේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද්ධයේදී විපතට පත්වූ කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනි විශාකා ධර්මදාස මහත්මිය පවසා ඇත්තේ මේ බව කාන්තාවන් ගෘහමූලිකයන් ලෙස කටයුතු කරන නිවෙස් හා ඔවුන්ගේ ජීවන අවශ්‍යතා පිළිබඳව පසුගියදා සිදුකරන ලද සමීක්ෂණයකින් සොයගෙන ඇති බවයි.
පිරිමින් මියගොස් හෝ අතුරුදහන් ව සිටින නිවෙස් වල බැරපැණ දැරීමට ඔවුන්ට සිදුවී ඇති බවත්, දරිද්‍රතාවය හා වෙනත් විකල්ප නොමැතිකම හේතුවෙන් ආදායම් මාර්ගයක් ලෙස ගණිකා වෘත්තියට යොමුවීමට ඔවුන් පෙළඹෙන බව ඇය පවසා සිටියි.
උතුරේ බහුලව සිටින හමුදා සාමාජිකත්වය, උතුරේ ගොඩනැගීම් කටයුතු වලට සම්බන්ධ රැකියා වලට දකුණෙන් යොමුවන පිරිමින් වැඩිවීම හා යුද්ධය අවසානයෙන් පසුව යළිත් නිජබිම් වලට පැමිණෙන ඩයස්පෝරා සාමාජිකයන් වැඩි වීම ද මෙලෙස ගණිකාවන් සඳහා ඇති වාණිජ ඉල්ලුම වැඩිවීමට හේතු යැයි පැවසිය හැකි යැයි දේශීය ක්‍රියාකාරීන් පවසන බව මෙහි දැක්වේ.
සංස්කෘතික ගතානුගතිකත්වය යටතේ මෙම ගැටළුව සැඟවීමේ පළක් නොමැති බව මන්නාරම් කාන්තා සංවර්ධන සම්මේලනයේ නිර්මාතෘ වන ශ්‍රීන් සරූර් පැවසුවේ යැයි ද මෙම වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ අතර, කාන්තාවන් ගෘහමූලිකයන් ලෙස කටයුතු කරන උතුරේ නිවෙස් 1500ක් සම්බන්ධයෙන් 2010 සිට වර්තමානය දක්වා සමීක්ෂණයක් පැවත්වූ යාපනයේ කාන්තාව හා සංවර්ධනය සඳහා වූ සංවිධානයේ අධ්‍යක්‍ෂිකා සරෝජා සිවචන්ද්‍රන් මෙම වෙබ් අඩවියට පවසා ඇත්තේ මෙවැන්නකි.
සංස්කෘතිය හා සම්ප්‍රදාය සඳහා ඉතා ඉහළ ස්ථානයක් හිමිවූ මෙම කලාපයේ, ගණිකා වෘත්තිය ක්‍රමක්‍රමයෙන් මුල්බැසගන්නා බවට විශ්වාස කිරීමට හේතු කාරණා ඇතැයි ඇයි පවසා තිබේ.
සාම්ප්‍රදායික ගෘහණියන් වන මෙම කතුන්ට ගණිකා වෘත්තියට අමතරව වෙනත් ආදායම් මාර්ග හිමිකරදීමට වඩාත් වඩා දියුණු හා යහපත් තත්ත්වයන් ඇති කර යුතු බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.
මේ අතර, සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියාරච්චි මෙම වෙබ්අඩවය වෙත අදහස් දක්වා ඇත්තේ මෙලෙසයි.
වාණිජ මට්ටමින් ගණිකා වෘත්තිය තහනම් රටක ප්‍රමාණවත් අධ්‍යයනක් සිදුනොකර නිශ්චිත සංඛ්‍යාව දැනගැනීම අපහසුයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම හා පියවර ගැනීම අවශ්‍ය බව ඔහු පවසා තිබේ.