පසුගිය වසර තුළ ලොව පුරා අන්තර්ජාල නිදහස ඇහිරීම සඳහා රජයන් ක‍්‍රියාත්මක වී ඇතැයි ෆ‍්‍රීඩම් හවුස් සංවිධානය පවසයි. 2013 වසරේ අන්තර්ජාල නිදහස පිළිබඳ එම සංවිධානය විසින් ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ඔවුන් විසින් අධ්‍යනය කළ රටවල් 60න් 34ක අන්තර්ජාලය තුළ නිදහසේ හැසිරීමේ අයිතිය පසුගිය වසර තුළ හැකිළී ගොස් ඇති බවයි.
කියුබාව, චීනය, ඉරානය සහ සිරියාව සීමා කිරීම් වැඩිම රටවල් ලෙස සැලකෙන අතර මිලියන ගණනක් වෙබ් අඩවි වාරණය කර ඇති චීනය දහස් ගණනක් නිලධාරීන් යොදාගනිමින් අන්තර්ජාල හැසිරීම් පිළිබඳව අත්අඩංගුවට ගැනීම් සිදුකරමින් නිදහස ඇවිරීමේ ප‍්‍රමුඛයා බවට පත්ව ඇතැයි එම වාර්තා වේ සඳහන් වේ.
අයිස්ලන්තය, එස්ටෝනියාව සහ ජර්මනිය මීළග ස්ථානයන් හිමි කරගෙන ඇති අතර ඇමරිකාවේ අන්තර්ජාල නිදහසද ස්නොව්ඩන්ගේ හෙළිදරව් කිරීම් හේතුවෙන් පහත වැටී ඇතැයි පැවසේ. සමීක්ධණයට ලක් කළ රටවල් 35කම රජයන් චරපුරුෂ ක‍්‍රියාවලියේ තාක්ෂණික වර්ධනයක් හෝ පිරික්සෙන පුද්ගල පරාසය වැඩිකිරීමක් හෝ පිරික්සීම පුළුල් කිරීම සඳහා බලතල වර්ධනය කරගැනීමක් හෝ සිදුකර තිබේ.
මේ අතර වෙබ් අඩවි වාරණය කිරීම් වැනි ක‍්‍රියාමාර්ග වලට ඔබ්බෙන් අත්අඩංගුවට ගැනීම් සහ දඬුවම් දීම් කෙරෙහි අවධානය යොමු කිරීමේ ප‍්‍රවණතාවක් පවතින බව දක්වන ෆ‍්‍රීඩම් හවුස් වාර්තාව පවසන්නේ රටවල 26කම එවැනි සිදුවීම් වාර්තා වී ඇති බවයි. රුසියාවද පසුගිය කාලයේදී වෙබ් අඩවි වාරණ නීතියක් ගෙනඑමින් එය විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා යොදාගෙන ඇතැයි පැවසේ.
මේ අතර චීනය සහ රුසියාව වැනි රටවල් තමන්ට හිතවාදී ප‍්‍රකාශයන් අන්තර්ජාලය තුළ සිදුකිරීම සඳහා මුදල් ගෙවන බවත් ඇතැම් රටවල් විශේෂ කණ්ඩායම් ගොඩනගා ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. ෆ‍්‍රීඩම් හවුස් සංවිධානය පවසන්නේ රටවල් 11ක ජනතා විරෝධතා සහ ක‍්‍රියාකාරකම් හේතුවෙන් අන්තර්ජාල නිදහස පුළුල් කරගැනීමට සමත්ව තිබීම ධනාත්මක ප‍්‍රවණතාවයක් බවයි.






