ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්‍ෂ පනහක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කර එය ව්‍යර්ථ වීමෙන් පසු රුපියල් ලක්‍ෂ ගණනක් වටිනා මත්පැන් තොගයක් කොල්ල කෑ බවට චෝදනා ලැබ සිටි පොලිස් ත්‍රස්‌ත විමර්ශන (ටී.අයි.ඩී.) ඒකකයේ කොස්‌තාපල්වරුන් තිදෙනකු අද (09 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාලිගාකන්ද මහෙස්‌ත්‍රාත් ජයකී ද අල්විස් මහත්මිය ඊයේ (08 වැනිදා) නියෝග කළාය.
මෙම සිද්ධියට සම්බන්ධ කොස්‌තාපල්වරුන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මරදාන පොලිසිය පරීක්‍ෂණ පවත්වමින් සිටියදී සැකකාර පොලිස් කොස්‌තාපල්වරු තිදෙනා මාලිගාකන්ද අධිකරණය වෙත ඊයේ භාර වූහ.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් හයදෙනකු මීට ඉහතදී මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කර තිබිණි.
ඉකුත් පෙබරවාරි මස 21 වැනිදා ව්‍යාපාරිකයකු කටුනායක ගුවන් තොටුපළේ සිට විස්‌කි බෝතල් 17 ක්, බියර් 428 ක් සහ සිගරැට් තොගයක්
රැගෙන වෑන් රථයක යමින් සිටියදී මරදාන ආනන්ද විදුහල අසලදී නාඳුනන පිරිසක් විසින් ඔවුන් නතර කරවා ඇත.
තමන් පොලිස් නිලධාරින් යෑයි කියමින් ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනකු සිය භාරයට ගත් නාඳුනන පිරිස වෙනත් වෑන් රථයක ඔවුන් දමාගෙන කොළඹ නගරය පුරා ගොස් තිබිණි.
ඔවුන් මුදා හැරීමට නම් රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් ලබා දෙන ලෙස කියමින් නාඳුනන පිරිස ව්‍යාපාරිකයාට සහ සගයන්ට තර්ජනය කර තිබේ.
එහෙත් අදාළ මුදල් ලබා දීම ඔවුන් ප්‍රතික්‍ෂේප කර ඇත. පසුව නාඳුනන පිරිස ව්‍යාපාරිකයා ඇතුළු සගයන් අතහැර දමා රුපියල් ලක්‍ෂ ගණනක් වටිනා මත්පැන් තොගය කොල්ලකා ගෙන පලා ගොස් තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ මරදාන පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති ගාමිණී හේවාවිතාරණ මහතා ඇතුළු නිලධාරින් විසින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හයදෙනකු සමඟÊමත්පැන් තොගය අත්අඩංගුවට ගන්නා ලදී.
මරදාන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා ගෙන යයි.