අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය තුළදී ඊයේ (08 වැනිදා) දහවල් 29 හැවිරිදි විවාහකයකු කෘෂි රසායන දියර වර්ගයක් පානය කොට සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇත.
අනුරාධපුර රඹෑව මහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙසේ වස පානය කර ඇති අතර එම අවස්ථාවේදීම පොලිස් නිලධාරීන් විසින් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
එම පුද්ගලයා සහ බිරිඳ අතර පවතින ආරවුලක් සමථයකට පත් කිරීමට අඹුසැමි යුවළ පොලිසියට කැඳවූ අවස්ථාවේ තම සැමියා සමග දීගකෑමට බිරිඳ අකැමැති බව පැවසීමත් සමඟ සැමියා සඟවාගෙන සිටි වස වර්ගයක් පානය කර ඇති බව පොලිසිය පවසයි. රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.