තම බිරිඳගේ පළමු කසාදයේ දියණිය වන වයස අවුරුදු 17 ක තරුණියක වරින් වර දුෂණය කළ බව කියන සුළු පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.
මාදම්පේ - මැල්ලවාගාර පදිංචිව සිටි තරුණියක මෙම අතවරයට මුහුණ දී ඇත.
අතවරයට පත්ව ඇති තරුණිය වයස අවුරුදු 02 ක පමණ කාලයේදී ඇයගේ පියා මිය ගොස් ඇති අතර පසුව මව වෙනත් විවාහයක් කරගෙන ඇති බව සඳහන්ය.
රත්නපුරය - කලවානේ පදිංචිකරුවෙකු වන සැකකාර සුළුපියා පසුගිය පෙබරවාරි මාසයේ දිනක අතවරයට පත් තරුණිය තමන්ගේ කාමරයේ සිටින විට උල් ආයුධයක් අතැතිව එම කාමරයට පැමිණ ඝාතනය කරන බවට තර්ජනය කර මෙම අපරාධය කර ඇති බව දැනට කරන ලද විමර්ශන වලින් අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
පළමු වරට එම සිද්ධිය වන විට තම මව රෝගී තත්ත්වයෙන් නිවස තුළ සිට ඇති බව සිද්ධියට මුහුණ දුන් තරුණිය පොලීසියට පවසා ඇත.
ඉන් පසුව මව නිවසේ නොමැති අවස්ථා කීපයකදී තම සුළු පියා විසින් තමන්ට මෙම අපරාධය සිදු කළ බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර අතවරයට පත්ව ඇති බව කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලට යොමු කිරීමට කටයුතු කර ඇති බව මාදම්පේ පොලීසිය කියයි.
වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.