පිටකොටුව බෝධිරාජ මාවතේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් 60 දෙනකුගෙන් ඊයේ (08 වැනිදා) වන විට කොළඹ අපරාධ කොට්‌ඨාසය සාක්‍ෂි සටහන් කරගෙන ඇත.
ඉකුත් සිකුරාදා රාත්‍රි ඇති වූ ගින්නෙන් කඩ සාප්පු එකසිය හතරකින් එකසිය දෙකක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇතැයි අපරාධ කොට්‌ඨාසයේ නිලධාරියෙක් පැවසීය.
ගින්න හටගත් අවස්‌ථාවේ සිට පොලිසිය සිදුකළ විමර්ශනවලදී කඩපෙළේ තිබූ අංක 77 දරන බෑග් කඩයෙන් ගින්න ඇති වී දෙපසට පැතිර ගොස් තිබූ බව හෙළි වී ඇත.
ගිනිගෙන විනාශ වූ කඩසාප්පුවල රබර් මිශ්‍ර බෑග්, ප්ලාස්‌ටික් සෙල්ලම් බඩු, සෙරෙප්පු ඇතුළු ඉක්‌මනින් ගිනිගන්නා ද්‍රව්‍ය බහුලව තිබීම නිසා ගින්න වහා පැතිර ගොස් ඇතැයි ද එම නිලධාරියා කීය.
ගින්න සම්බන්ධයෙන් රස පරීක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සිදුකළ විමර්ශන වාර්තාව බොහෝ දුරට අද (09 වැනිදා) ලැබීමෙන් පසු ගිනි ගැනීමට හේතුව නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ හැකි බව ද ඔහු කීය. පොලිසිය ඊයේ (08 වැනිදා) සවස වනතෙක් සිදුකළ විමර්ශනවලට අනුව මෙය කඩාකප්පල්කාරී සිදුවීමක් බවට සැක සිතීමට කිසිදු සාක්‍ෂියක් ලැබී නැතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
මෙය කඩාකප්පල්කාරී සිදුවීමක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ද පැවසීය. ගින්න සම්බන්ධයෙන් අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. ආර්. ඩබ්ලිව්. රණවීර මහතාගේ උපදෙස් මත අපරාධ කොට්‌ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ. පිටකොටුව පොලිසිය ද පරීක්‍ෂණ සිදුකරයි.