ජන සමාජය දේශිය හෝ විදේශීය වශයෙන් වේවා එසේත් නැතිනම් සංහතිය ලෙස මිනිසුන් වේවා විවිධ දේ ඇසුරින් දියුණු වෙමින් පවතින්නේ යැයි කියනු ලැබේ.
එසේ දියුණු වූ සංහතියක් තුළ දක්නය ඇති තාක්ෂණික හෝ නිපුණතාමය ලක්ෂණයන්ගෙන් වියුක්ත වූ අවශේෂ හෝ ආශ්‍රය විෂයන්හිදී ද මෙම දියුණුව සාධාරණ මට්ටමකින් පෙන්නුම් කරන්නේ නම් එවැනි සංහතිමය දියුණුවක් අත්කර ගත්තේ යැයි විස්වාස කළ හැකිය.
එසේ නොවන්නේ නම්, එය එක්කෝ දියුණුව යන සංකල්පයේ හෝ වචනයේ වරදක් විය යුතුය. එසේත් නැතිනම්, අප දියුණුව ලෙස හදුනාගෙන ඇති දේවල්හි සහ ඇත්ත වශයෙන්ම සිදුවෙනමින් පවත්නා දේවල් හි වෙනසක් පවතියි.
රටේ ආර්ථික සංවර්ධනය පිළිබද හෝ වෙනත් දෙයක් පිළිබද බරට හා පුරසාරම් ලීලාවෙන් කතා කරමින් සිටිනා ඇතැම්හු අගවිනිසුරුවරිය හා තවත් අයෙකු සම්බන්ධයෙන් වන අයතා පෙම් සබදතාවක් පිළිබද ඉතාම නොදියුණු ලෙස තලු මරමින් පට්ට ගසමින් සිටියහ. මෙහිලා ඇය විසින් එවැන්නක් කරමින් සිටිනවා ද එසේත් නැතිනම් එසේ නොකරන්නේ ද යන්න පිළිබද තක්සේරු කිරීම, අවතක්සේරු කිරීම හෝ අදිතක්සේරු කිරීම අරමුණු කර නොගනිමි.
එසේ වුව ද, එසේ චෝදනා කරනු ලබන ආකාරයේ සිද්ධියක් සම්බන්ධයෙන් දියුණු සමාජයක් බව ලේඛණගතව ඔප්පු කර ගැනීමට උත්සාහ කරගන්නා කොළඹුන් මෙන්ම කොළඹුන් විසින් නොදියුණු යැයි අවලාද නගනා ගම්මුන් ද හැසිරෙන්නේ එකම ආකාරයකින් බැව් හැගේ. ‘දයාවතීගෙ කෙල්ල, සුමනපාලගෙ කොල්ලත් එක්ක පැනල ගිහිල්ලලු. ලබන මාසෙ වෙන එකෙක් එක්ක දීග යන්නලුත්නෙ හිටියෙ‘ කියන කතාවේ සහ ටයි කෝට් දමා ගනිමින්, විෂමාචාරය, ව්‍යභිචාරය හෝ වෙනත් වාග් විලාෂයන් භාවිත කරමින් කෙරෙන මෙම චෝදනා ද වාග් කෝෂමය දියුණු හෝ දියුණු නොවූ වශයෙන් හෝ සංවර්ධනය වූ හෝ ප්‍රත්‍යන්ත වශයෙන් පවත්නා වෙනසක් හැර වෙනස් වූ වෙනසක් දක්නට නොලැබේ.
ලියුම්කරුවා විසින් යටකී ශීර්ෂයෙන් වැඩිදුර කියවාගැනීම ආරම්භ කරනු ලැබූයේ, ‘පට්ට කෑල්ලකට ජැකක් තිබ්බ‘ යැයි නාදුනන එකෙකු විසින් තවත් එවැනිම නාදුනන එකෙකු වෙනුවෙන් කී කතාවක් ඇසීමෙන් පසුවය. ඔහු ඒ වන විටත් බ්ලැක්බෙරි ජංගම දුරකතනයක් අත දරා සිටි අතර ඉනික්බිති පැමිණි ඇමතුමකට ආචාරශීලී හා ගැඹූරු භාවයකින් යුක්තව පිළිතුරු දිණි.
මොරටුවේ පිහිටි පල්ලියක් පිළිබද තවත් එකෙකු සමග කතා කරමින් සිටින විට, ‘අම්මටසිරි, ඒකට බහින්නෙ පට්ට කෑලි‘ යැයි කියා සිටියේය.
වැඩි රූමත් භාවයක් හෝ ‘ෆැෂන්‘ වැඩිපුර නොකරන තරුණියක් සරසවියේ ඇවිදයමින් සිටින විට ඈ වෙත එකෙකු විසින් උසුළු කිරීමෙන් පසු, ‘ලොන්ත කෑලි ෆෝම් කරන්න එපා බං‘ යැයි කියා සිටීමේ අත්දැකීමක් මින් පෙර භුක්ති විද සිටිමි. මහනුවර එක් පාසලක් පිළිබද කතා කිරීමේදී, ‘අපෝ, කොච්චර ලස්සන වුණත්, ඒකෙ යුනිෆෝම් එක ඇන්දම ලොන්ත කෑලි වෙනව‘ යැයි කොළඹට වී නුවර පාසල් කිහිපයක් පිළිබද අත්දැකීම් බෙදා ගැනීමේදී විටෙක අයෙක් කියා සිටියේය.
ලොන්ත කෑල්ලක් සහ පට්ට කෑල්ලක් වෙන් කර ගනු ලබන්නේ කෙසේ ද. ලෙහා ගැනීමට තරම් දෙයක් නැති වුව ද කෑල්ලක් යනු, වයස අවුරුදු දහසයත් තිහත් අතර තරම් වන වයසේ හෝ තිහේ දශකයේ මැද භාගයට ලගා වෙමින් සිටිනා එපමණ වයස නොපෙනෙනා ස්ත්‍රීන්ය. මේ සත්‍රීන් පට්ට හෝ ලොන්ත වන්නේ හෝ එසේ වෙන් කර ගන්නේ කෙසේ ද. ‘ලස්සන‘ සාපේක්ෂ බව ප්‍රකට කරුණකි. ඒ අනුව. එකෙකුට පට්ට වන අයෙක් තවත් අයෙකුට ලොන්ත වනු ඇත.
කෙසේ වුව ද, එකිනෙකාට සාපකේෂව පට්ට හෝ වේවා ලොන්ත හෝ වේවා ස්ත්‍රියක කියවා ගැනීමේ හා ඇය වෙනුවෙන් ලබා දිය යුතු සමාජ වටිනාකම සම්බන්ධයෙන් බරපතල හිඩැසක් තවමත් මෙම සමාජ ක්‍රමය තුළ පවත්නා බව කිව යුතුය. තිසර ජෝඩුවක් වැනි පිරිපුන් දෙතන ද ආකාර්ශනීය ශරීර දේහයක් ද ඊට සරිසල ඇදුමකින් ද සුසැදි කාන්තාවන් පට්ට බවේ සංඛේතීය ලක්ෂණය වේ. වර්ණය ද මෙහිලා වැදගත් සාධකයක් වේ.
නමුත්, කෑල්ලක් පට්ට හෝ ලොන්ත භාවයට ගොනු කිරීමේදී දියුණු සමාජය විසින් අමතක කරනු ලැබූ දියුණු මිනුම් කිහිපයක් පිළිබද සිහියට එයි. ‘පොතක පිටකවරයකින් පොතක් මනින්න එපා‘ යැයි මහත්මා ගාන්ධි විසින් ස්වකීය චරිතාපදානයේ ලියා ඇත. එසේම, මෙය යළිත් වරක් ලුවී ෆිෂර් විසින් රචිත මහත්මා ගාන්ධි නම් පොතේ ද සදහන් කර ඇත. ඒ අනුව, ව්‍යවහාරික භාවිතය අනුව කෑල්ලක් ද පට්ට හෝ ලොන්ත වීම කෙරෙහි බලපාන පිටකවරයේ සදහන් නොවන ලක්ෂන කිහිපයක් පිළිබද අවධානය යොමු කරනු කැමැත්තෙමි. කෑල්ලක් පට්ට වීමට නම්, පළමුව ම කෑල්ල තනිව රවුම් කර කියවා ගැනීම ආරම්භ කළ යුතුය.
හෙරෝයින් භාවිත කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින ගුවන් සේවිකාවක පිළිබද අප දණියි. ඇය පට්ට කෑල්ලක් බවට බැලූ බැල්මට කියවා ගත හැකිය. නමුත්, ඇගේ අභ්‍යන්තරය නොදියුණු හෝ දියුණු සමාජයකට සුදුසු නොවන තරම් ලොන්ත වී ඇත. මිනී මැරීමේ චෝදනාවේ සිට සොරකම් කිරීම, ව්‍යභිචාරය, හිතේ හැටියට අරක්කු හා සිගරට් බීම හරහා තම පෙම්වතාට සහ සැමියාට කුණුහරුපයෙන් බැණ වදින තත්ත්වය දක්වා ද වංචාවන් හා දූෂණයන් සම්බන්ධයෙන් නැඹුරුවක් ඇති වීම දක්වා වන සිද්ධීන්ට අනුව, එසේ එවැනි දේ සිදු කරන්නේ නම්, භාහිරින් කුමන පට්ටභාවයක් දක්නට ලැබුණ ද ඒ කෑල්ල කොයිතරම් නම් ලොන්ත වන්නේ දැයි හැගේ.
සමාජ ක්‍රමයක් දියුණු වීමේ දී කෑලි, පට්ට විය යුතුය. නමුත්, යළි යළිත් කියා සිටින්නේ ව්‍යවහාරයේ එන කෑල්ලක් නොදියුණු හා ලොන්ත ලක්ෂණවලින් යුක්ත වන්නේ නම්, ඒ පට්ට භාවයෙන් ඇති ප්‍රතිඵලය කුමක් ද. කෙසේ වුව ද සමාජ ක්‍රමය නිරන්තරයෙන් භෞතික හෝ පාරිසරික දියුණු භාවයන් පෙන්වමින් ‘පට්ට‘ වෙමින් සංස්කෘතිමය වශයෙන් ලොන්ත වෙමින් පවත්නා අවදියක, ‘කෑල්ලක්‘ කෙරෙහි පවත්නා වටිනාකම හෝ පට්ට හෝ ලොන්ත භාවය තීරණය වන්නේ ද ඊට අනුලෝමව සමානුපාතිකවමය.
ඇතැම් විට, නූතන පට්ට භාවයට සාපේක්ෂව අපේ මව්වරුන්ගේ යුගයේ ගැහැණුන් එතරම් පට්ට නොවුණා විය හැකිය. නමුත්, ඔවුන් පට්ට වන්නේ, ඔවුන් තුළ පවත්නා සංස්කෘතික දියුණුවේ හා සාරයන්ගේ පට්ට භාවයත් සමගිනි. ඇසින් දැක පට්ට බව තීරණය කිරීමට තරම් සමාජය ලොන්ත නොවන්නේ නම්, සංස්කෘතිකමය වශයෙන් ලොන්ත වී ඇති ‘කෑලි‘ පමණත් නොව මුළු මහත් සමාජයම පට්ට කර ගැනීමේ ක්‍රියාන්විතයක් දියත් කළ යුතුය.
ලොන්ත සමාජයක ලොන්ත වූ මිමි අනුව, ඇඟ පසඟ මත පට්ට හෝ ලොන්ත බව තීරණය කිරීමේ නොදියුණු ලක්ෂණයේදී, තම ස්වාමියාට හොරෙන් වෙනත් අයෙකු සමඟ නිදි වදින හෝ මල් කඩන පට්ට කඳක් සහිත පට්ට කෑල්ලකට වඩා, සංස්කෘතිකමය දියුණුවක් ඇති ඇඟ පසගින් ලොන්ත වන නමුත් අභ්‍යන්තරයෙන් පට්ට වන කෑලි කොයිතරම්නම් අගනේ ද. එහෙයින්, කෑල්ලක් පට්ට වීම හෝ ලොන්ත වීම තීරණය කිරීමේ තීරණාත්මක මිනුම් දණ්ඩ ලෙස, ඔබේ මව විසින් ඔබට දක්වන දයාව, ස්නේහය හෝ කරුණාව මිනුමක් කර ගැන්න යැයි ආරාධනා කරමි.