රජයට අහිමි මුදල රු. කෝටි 1,040යි
වාහන වෙළෙඳාම තරම් ලාභ ලැබිය හැකි අපූරු වෙළෙඳාමක් තවත් නොමැති තරම්ය. ඉහළ පැළැන්තියේ සුඛෝපභෝගී ජීවිත ගත කරන බොහොමයක් දෙනාගේ රැකියාව වාහන වෙළෙඳාමයි.
මෙම ලාභදායි බවේ වැදගත්කම තහවුරු කරන අපූරු සිදුවීමක් පසුගියදා සිදු විය. එනම් සත්‍ය වටිනාකමට වඩා වටිනාකම අගය අඩු කර මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී වාහන 400 ක් පමණ රේගුව මගින් අත්අඩංගුවට ගැනීමයි.
ආසන හතේ ලෑන්ඩ් කෘෂර් (ඩීසල්) වර්ගයේ වාහන ඇතුළුව සුඛෝපභෝගී වාහන 400 ක් පමණ මෙරටට ගෙන්වා ඇත. ලෑන්ඩ් කෘෂර් වර්ගයේ වාහනයක මිල රුපියල් මිලියන 30ක් වන නමුත් මේ වාහනයක් රුපියල් මිලියන 3.9ක අගයකින් තක්සේරු කර තිබූ බව වාර්තා වේ.
වාහනයකින් මිලියන 26 ක් වටිනාකම අඩුකර තිබිණ. වාහන 400 සඳහාම රුපියල් මිලියන 10,400 ක ප‍්‍රමාණයක් අගය අඩු කර තිබිණ. එය කෝටිවලින් රුපියල් කෝටි 1,040 කි.
භාවිත කළ වාහන ලෙස සඳහන් කරමින් මෙරටට ගෙන්වා තිබූ මේ වාහන ජපානයෙන් ශ‍්‍රී ලංකාවට නැව්ගත කර තිබූ අතර ඒවා ධාවනය කර තිබී ඇත්තේ කිලෝමීටර 100 කට අඩු ප‍්‍රමාණයකි. (කිලෝමීටර 100 ට අඩු දුරක ධාවනය කර තිබුණත් පාවිච්චි කරන ලද වාහනයක් ලෙස සඳහන් කළ හැකි අවස්ථා තිබෙන බවද වාර්තා වේ ).
කෙසේ වෙතත් රේගුව මගින් පාවිච්චි කරන ලද වාහන මාස 6, මාස 12 වසර 2 ආදී වශයෙන් කාලය වෙන් කිරීම් මත බදු අඩු කිරීම සිදුවෙයි. රේගුවටම නියම කරන ලද වගුවන් ඒ සඳහා සකස් කර ඇත.
අලූත් වාහනයක නිෂ්පාදිත වර්ෂයේ වටිනාකම තහවුරු කිරීම සඳහා රේගුව මගින්ම දැන් විශේෂ කමිටුවක් පත්කර ඇත. එම කමිටුව වාහනයේ අගය තහවුරු කරයි. එම වටිනාකමට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු කර බදු කිරීම සිදුවේ.
එන්ජින් ධාරිතාව 2500 (ඩීසල්) වාහනයකට අය කෙරෙන බද්ද 200% ක් පමණය. ඒ පහත පරිදිය.
වරාය බදු 30%
වැට් බදු 12%
වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු 5%
ජාතිය ගොඩනැගීමේ බදු ස 2%
නිෂ්පාදන බදු සියයට 143%
පාවිච්චි කරන ලද වාහනයකට පාවිච්චි කිරීමේ කාලය මත ක්ෂය වීමේ අගය අඩුකර බදු අය කිරීම කරයි. සත්‍ය වටිනාකමට වඩා වටිනාකම අගය අඩුකර මෙරටට ගෙන්වන ලද මෙම වාහන සඳහා වරායට ගෙවිය යුතු බදු මුදල් ද අඩුය. බදු අඩිවීමේ ලාභය වාහනය ගෙන්වූ පුද්ගලයාටය. අලාභය රටටය.
පාවිච්චි නොකරන ලද වාහනයක් ගෙන්වීමට නම් මෙරට ඒජන්තවරයෙන් මගින් වාහනය ගෙන්වනු ලබන අතර පාවිච්චි කරන ලද වාහනයක් පෞද්ගලික මට්ටමින් ගෙන්වා ගත හැකිය. මෙම වාහන ගෙන්වීමට අදාළ පරීක්ෂණ කටයුතු රජයට සම්බන්ධ දේශපාලනඥයකුට සම්බන්ධකම් ඇති නිලධාරියෙකු විසින් සිදුකරනු ලබන බව වාර්තා වේ.
මේ වනවිට සියලූ වාහන නිදහස් කර යවා ඇති බවද වාර්තා වේ. අදාළ පරීක්ෂණ කටයුතු ලිපිලේඛන මට්ටමින් පමණක් සිදුවන බවද දැන ගන්නට ඇත. වාහන නිදහස් කිරීම පිළිබඳව නිල වශයෙන් ප‍්‍රකාශයක් කිරීමට වරායේ නිලධාරීන් මැලිකමක් දැක්වූ බව ද මෙහිදී කිව යුතුව ඇත.
රේගුවට සම්බන්ධ මාධ්‍ය නිලධාරියාගෙන් විමසීමේදී ඔහු ප‍්‍රකශ කළේ තමන් කිසිවක් නොදන්නා බවයි. වටිනාකම අඩු කර ගෙන්වන ලද සැප වාහන 400 රේගුව අත්අඩංගුවට ගත් බව ප‍්‍රකාශ කර තිබුණත් ඉහළ පෙළේ බලපෑමක් මත නිදහස් කර තිබෙන බව දැනගන්නට ඇත. පරීක්‍ෂණ කටයුතු අවසන් වනතුරු මෙම වාහන වරායේ අධීක්ෂණය මත පවතින බවද වාර්තා වේ.
මේ වාහන ගෙන්වීමට අදාළ ලිපිලේඛන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහතාට බාරදීමට රේගු නිවාරණ අංශයේ සහකාර රේගු අධිකාරීවරයා පියවර ගෙන ඇති බව ද වාර්තා වේ. මේ වාහන තොගයේ වටිනාකම නැවත තක්සේරු කරන ලෙස රේගුව විසින් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ. එම ඉල්ලීමට අනුව වාහනවල සැබෑ වටිනාකම සෙවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
අප වෙත දැනගන්නට ලැබෙන පරිදි මෙම වාහන තොගය ගෙන්වීමට රජයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් මූලික වී සිටියි. රටේ මෙතෙක් ඇතිවූ අනෙකුත් සියලූ ප‍්‍රශ්න මෙන් අමතක කරවා මෙය ද කාලය විසින් යටපත් කරනු ඇත.
වාහන ගෙන්වූ පුද්ගලයා ලාභය බෙදා හදාගනු ඇත. ළඟ ළඟම මහ මැතිවරණයක් හා ජනාධිපතිවරණයක් එන බවට ද ආරංචි පැතිර යමින් පවතී. දේශපාලනඥයන් ඒවාට සිත් සේ වියදම් කිරීමට මුදල් හරි හම්බ කරගත යුතුයි. ඒවාට ක‍්‍රම හා විධි සැලසුම් කර ගැනීමට ඉඩකඩ සැලසෙන බවද කිව යුතුව ඇත.






