නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමේදී සියලු මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම පැවරී තිබූ චීන ජාතික නිලධාරීන් දෙදෙනකුට සිර දඬුවම් ලබා දීමට චීනයේ අධිකරණයක් මගින් කටයුතු කර තිබේ.
නොරොච්චෝලේ ඉදිකිරීමේදී වගකීමෙන් කටයුතු නොකොට බලාගාරය අසාර්ථකත්වයට පත් කිරීම හා එමගින් චීනයත් ශ්‍රී ලංකාවත් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පලුදු වන වටපිටාවක් නිර්මාණය කිරීම යන චෝදනා මත එම චීන ජාතික නිලධාරීන්ට දඬුවම් ලබාදී ඇතැයි ද වාර්තා වේ.
මෙසේ දඬුවම් ලබාදී ඇත්තේ නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමේ කටයුතු සිදුකළ අදාළ සමාගමේ ඉහළම තනතුරු දැරූ නිලධාරීන් දෙදෙනකුටයි.
චීන රජය මෙසේ වගකීම් විරහිතව කටයුතු කළ තම නිලධාරීන්ට දඬුවම් කිරීමේ තීරණයකට එළැඹියද නොරොච්චෝලේ විනාශයට මගපාදමින් දූෂිත ලෙස කටයුතු කළ මෙරට ඇතැම් නිලධාරීන් මේ වන විටත් විදුලිබල මණ්‌ඩලයේ රාජකාරි කරමින් මණ්‌ඩලයේ තනතුරු දරමින් සිටින බව විදුලිබල මණ්‌ඩලයේ සේවක පිරිස් සඳහන් කරති.