ගණිත විෂය සඳහා ගණිත ගුරුවර ගුරුවරියන් බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගයක් පවත්වන බව සඳහන් අයදුම්පත්‍ර තොගයක් අනුරාධපුර නගරයේ වෙළෙඳ සලකට අලෙවි කිරීම සඳහා නිකුත් කළ උපකාර පන්ති පවත්වන ගුරුවරයකු යැයි කියා ගන්නා පුද්ගලයකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් ප්‍රශ්න කිරීම් සඳහා සැකපිට ඊයේ (07) උදෑසන අනුරාධපුර ධර්මපාල මාවත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පුද්ගලයා අදාළ ලිපි අලෙවි වී ඇත්ද යන්න සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
2014 වර්ෂය සඳහා ගණිත විෂයට ගුරුවර ගුරුවරියන් බඳවා ගැනීමට තරඟ විභාගයක් පවත්වන බව සඳහන් කරමින් මුද්‍රිත අයදුම්පත්‍රය රුපියල් 20ක මුදලකට අලෙවි කිරීමට වෙළෙඳ ආයතනයට සැකකරු උපදෙස් ලබාදී ඇත. එහි හිමිකරුට මෙම අයදුම්පත්‍රය පිළිබඳව සැක සිතී ඒවා අලෙවි කිරීම අත්හිටුවා ඇත.
සෑම අයදුම්කරුවකුම ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් 300ක මුදලක් හා විභාග ගාස්තුව ලෙස රුපියල් 275 ක මුදලක් මුදල් ඇනවුම් මඟින් සාලියපුර තැපැල් කාර්යාලයට එවිය යුතු බවට එහි විස්තර පත්‍රිකාවේ සඳහන්ය.
මුදල් ඇනවුම් එවිය යුතු ලිපිනය ලෙස ප්‍රධාන ආචාර්ය (නමක් සඳහන් කර) විභාග අංශය, නො. 230,7 කණුව, සාලියපුර වශයෙන් සඳහන් කැර ඇත. ඊට අමතරව ගණිත ගුරුවරයෙකු වශයෙන් පත්වීම් ලබා ගැනීමට අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට සම්මාන සාමාර්ථයක් (විෂයන් සඳහන්ව නැත) ඇති ඕනෑම අයකුට විභාගය සඳහා පෙනී සිටිය හැකි බවත් වයස් සීමාව ලෙස අවුරුදු 18 - 42 ත් එහි සඳහන් කැර ඇත.
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය අප්‍රේල් මස 04 වැනි දිනය ලෙසත් විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50කට මුහුණ දී ප්‍රශ්නයකට ලකුණු 02 ක් බැගින් ලකුණු 100ක් ලබා ගත හැකි බව එහි සඳහන්ය. විභාග ගාස්තු ගෙවා නොමැති විට විභාගයට පෙනී සිටීමට නොහැකි බව එහි සඳහන් වන අතර තොරතුරු සාවද්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවක විභාගයෙන් ඉවත් කිරීම හෝ ප්‍රතිඵල අවලංගු කිරීමට හැකි බවද එහි සඳහන් කර ඇත.
අයදුම්පත්‍රය ස්වාමීන් වහන්සේ නමකට හෝ සාමවිනිසුරුවරයෙකුට සහතික කළ හැකි බව එහි සඳහන් කැර ඇත. කුමන ආයතනයක ගණිත විෂය සඳහා ගුරුවර ගුරුවරියන් බඳවා ගන්නේද යන්න සම්බන්ධයෙන් එහි කිසිදු සඳහනක් නොමැති අතර අයදුම්පත්‍ර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ලිපිනය වශයෙන් සඳහන් කර තිබුණේ ප්‍රවීණ වෛද්‍ය ආචාර්ය (නමක් සඳහන් කර) නො. 230, 07 කණුව, සාලියපුර, අනුරාධපුර ලිපිනයේ නමිනි.
පොලිස් භාරයට ගත් සැකකරු උපකාර පන්ති පවත්වන අයකු බව පොලිසියට පවසා ඇති අතර තඹුත්තේගම ප්‍රදේශයේ ලිපි ද්‍රව්‍ය අලෙවි සැලකටද මෙම අයදුම්පත්‍ර අලෙවි කිරීමට ඔහු බෙදා හැර ඇත. ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව පොලිස් භාරයට ගත් තැනැත්තා යම් වරදක් කර ඇත්නම් ඔහු අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවද පොලිසිය පැවසුවේය.
එමෙන්ම මීට පෙරත් මෙම විභාගයන් පවත්වන බවට අයදුම්පත්‍ර බෙදා හැර පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවද විශේෂ අපරාධ විමර්ශන අංශය පැවසුවේය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.ඩී.සී. දිසානායක මහතා සහ එම අංශයේ සැරයන් 31385 ගුණතිලක යන මහතා සැකකරුව ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගනු ලැබීය.
.