මෙරට ප‍්‍රධානතම වාණිජ මර්මස්ථානයක් වන කොළඹ කොටුවේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි ඇති කාර්යාලවල සහ ඊට පැමිණෙන පුද්ගලයන්ට භාවිත කිරීමට තිබෙන වැසිකිළිවල පරිහරණයට ජලය නොමැති වීම හේතුවෙන් එම පිරිස් දැඩි අපහසුතාවකට පත්වී ඇති බව එහි කාර්යාලවල සේවකයෝ සඳහන් කරති.
එම වැසිකිළි යුරෝපීය තාලයට සාදා තිබීම හේතු කොට ගෙන ශරීර කෘත්‍ය සිදු කරන පිරිස්වලට ජලය වෙනුවට භාවිත කිරීමට ඇත්තේ පවිත‍්‍රතා කඩදාසිය.
මේ නිසා තමන් බොහෝ අපහසුතාවන්ට පත්වන බව ඔවුහු කියති.
එසේම එම වැසිකිළි පවිත‍්‍රතා කඩදාසි සමහර අවස්ථාවලදී නොමැති අවස්ථාද වාර්තා වන අතර එවිට ශරීර කෘත්‍ය සිදු කරන පිරිස් අසරණ තත්ත්වයට පත් වන බවද එහි පවතින කාර්යාලවල සේවකයෝ කියා සිටී.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි මහලෙන් මහලට වැසිකිළි සාදා ඇති අතර ඒ සෑම වැසිකිළියකම මෙවැනි තත්ත්වයක් දක්නට ලැබේ.
තවද වැසිකිළි දොරෙහි දැන්වීමක් අලවා ඇති අතර එහි ’’භාවිතයෙන් පසු හොඳින් වතුර යොදන්න’’ යනුවෙන් සඳහන් වෙයි.
එහෙත් ශරීරය පිරිසිදු කර ගැනීම සඳහා එහි ජලය ලබා ගැනීමට කිසිදු ජල උපකරණයක් සවි කොට නොමැත.
වැසිකිළි දොරෙහි සවි කොට ඇති දැන්වීමෙහි චිත‍්‍ර රූප දෙකක් ඇති අතර එම රූප රාමුවලින් පවසන්නේ අදාළ ශරීර කෘත්‍ය සිදු කොට වැසිකිළි පිරිසිදු නොකෙරුවොත් එහි නිලධාරින් විසින් බැණ එළවා දමන බවත්ය.
කෙසේ වෙතත් මෙම ගැටලූව නිසා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි රාජකාරි කරන ලාංකිකයෝ හා මෙහි කටයුතු සඳහා පැමිණෙන පිරිස් දැඩි අපහසුතාවකට පත් වෙති.