අලුත උපන් බිලිඳකුගේ මළ සිරුරක් රුපියල් විස්සේ ටියුලිප් බෑග් එකක දමාගෙන රැගෙන යමින් සිටි තරුණ කාන්තාවක් රාගල පොලිසිය විසින් බෘක් සයිඩ් පොලිස් මුරපොළේදී ඊයේ (30දා) අත්අඩංගුවට ගෙන ඇත.
දහනවවැනි වියේ පසුවන මේ කාන්තාව දරුවාගේ මව යැයි පොලිසිය සැක කරන අතර ඇය හයිපොරස්ට් ඇල්මාවත්තේ පදිංචිකාරියකි.
රාගල පොලිසියට ලද දුරකතන පණිවුඩයකට අනුව කළ පරීක්ෂාවේදී මේ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ මෙම කාන්තාව අවිවාහක තැනැත්තියක් බවයි.
බිලිදා මියගොස් ඇති ආකාරය සොයා ගැනීම සඳහා නුවරඑළිය මහරෝහලේ මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට භාජන කිරීම සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇත.
රාගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ඩී. කාරියවසම් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සුසන්ත රත්නායක මහතා සහ පොලිස් කොස්තාපල් ලේකම්ගේ (23290), රුවන් (86541) සහ පො. සහායක අසුර (3066) යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.