මේ වසරේ ගතවු මාස 10 තුළ සිදුකළ වැටලීම් වලින් රුපියල් මිලියන 86කට අධික මුදලක් උපයාගැනීමට හැකිවු බව පාරිභෝගික අධිකාරිය පවසයි.
එම අධිකාරියේ සභාපති රූමි මරුෂුක් මහතා කියා සිටියේ මේ වසරේ ගතවු කාලය තුළ වැටලීම් 37,000ක් සිදු කළ බවයි.
එම වැටලීම් වලින් බහුතරයක් කල් ඉකුත් වු භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධ වැටලීම් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
ඊට අමතරව මිල වෙනස් කිරීම, භාණ්ඩ සැඟවීම, නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය සටහන් නොකිරීම සහ උපරිම මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම යන චෝදනා යටතේ වැටලීම් සිදුකර තිබේ.
ඉදිරියේ දී ද දිවයින් පුරා අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මරුෂුක් මහතා සඳහන් කළේය.
ඒ සඳහා පාරිභෝගික අධිකාරියට වැටලීමේ නිලධාරීන් 53 දෙනෙකු බඳවා ගැනීමට ද පියවර ගෙන තිබේ.