ඉස්සන් ඇල්ලීම සඳහා අම්බලන්තොට වළවේ ගගේ වම් ඉවුර තීරයට කිසියම් පිරිසක් විසින් විෂ කෘමි නාශක යෙදීම හේතුවෙන් වළවේ ගගේ ඉවුරු තීරයේ සිටින ඉස්සන් මිය ගොස් ඉවුරු තීරයට විශාල වශයෙන් ගොඩ ගසා ඇත.
අම්බලන්තොට, පුහුල්යාය ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් වළවේ ගගේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම දැක හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ටද දැනුම් දීමට කටයුතු කර ඇත.
ප්‍රදේශවාසීන් පවසන්නේ යම් කිසි පිරිසක් විසින් වළවේ ගගේ සිටිනා ඉස්සන් ඇල්ලීම සඳහා මෙසේ විෂ කෘමිනාශක යෙදීම මීට ඉහත අවස්ථා කිහිපයකදීම සිදු කර තිබූ බවයි.
තවද මෙම පුද්ගලයින් මෙසේ මිය යන ඉස්සන් අල්ලා ආහාර සඳහා විකුණන බවද ප්‍රදේශවාසීහු පවසති.
ඉස්සන් ඇල්ලීම සඳහා මෙසේ කෘමිනාශක ගගට යෙදීම හේතුවෙන් ගගේ ජලය භාවිතයට ගන්නා සියළු දෙනාටම මින් තර්ජනයක් එල්ල වන බවත්, කෘමි නාශක යෙදීම හේතුවෙන් ඉවුරු තීරයේ සිටිනා කුඩා ඉස්සන් සහ මත්ස්‍ය පැටවුද විශාල වශයෙන් මිය යන බවත් ඔවුහූ පවසති.
මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයින් අල්ලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.