* ලක්ෂ 20 ට තක්සේරු කළත් කෝටි ගාණක් අලාභයි
* වරෙක අගමැති බේරිලා තියෙන්නෙත් අනුනවයෙන්
* සමිතා රෝද පුටුවට වැටුණේ තාවකාලික ගොඩනැඟිල්ලක් කඩන් වැටිලා
හදිසියේ උපදින ගිනි නොසිතූවිරූ ප්‍රතිඵල අත්කර දෙන්නේය. සමහරවිට ගිනිගෙන දැවුණ තැන්වල ඉතිරි වී ඇති සැකිලි යථාර්ථය කියා දෙන්නේය. ඒ ඇත්ත තේරෙනවිට අහන දකින කාටත් දුක හිතෙන්නේය.
එහෙම ගින්නක් පසුගියදා ඇතිවුණේය. ඒ ගින්න ඇතිවූයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණශාලාවේය. ගින්න හොඳටෝම පැතිරී ගියේය. ගින්නෙන් පසු හෙළිවූයේ දුක හිතෙන ඇත්තකි. ඉන්පසු රටට වැටහී තිබුණේ මෙතෙක් ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවක් ලෙස හඳුන්වා දුන්නේ ගමේ ප්‍රජා ශාලාවක් වැනි තැනක් බවය.
මේ කියන්නට හදන්නේ ඒ කතාවය. දිනය පසුගිය තිස්වෙනිදාය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණි. නමුත් ප්‍රදර්ශනය ආරම්භ කිරීමට ස්වල්ප මොහොතකට පෙර එම ස්ථානයේ ඇතිවූ ගින්නක් නිසා එම ප්‍රදර්ශනය නවතා දැමීමට සංවිධායක මඬුල්ලට සිදුවිය.
නව නිර්මාණකරුවකු විසින් ඉදිරිපත් කෙරුණු නව නිර්මාණයක්වූ ලිපක් දැල්වීමට යැමේදී ඇතිවූ ප්‍රමාද දොaෂයක් නිසා මෙම ගින්න හටගත් බවට තොරතුරු අනාවරණය විය.
ගින්න ඇතිවූයේ බණ්ඩාරනායක සම්මන්ත්රණශාලා පරිශ්‍රයේ තාවකාලිකව ඉදිකළ ප්‍රදර්ශන ගොඩනැඟිල්ලකය. ගින්න නිසා එම ගොඩනැඟිල්ල සහ එහි තිබූ නව නිපැයුම් 271 ක් සම්පූර්ණයෙන්ම අළු වී ගියේය. ගින්න නිසා සිදුවූ අලාභය මේවන විටත් නිශ්චිතව තක්සේකරු කර නොමැත. එය කෝටි ගණනකට එහා වන බව වගකිවයුතු නිලධාරීහු පවසති.
එහෙත් වසර ගණනාවක් අනේක දුක් විඳිමින් තම ශ්‍රමය කාලය වැයකර නිපදවූ නිර්මාණ තම දැස් ඉදිරිපිට තප්පර ගණනකින් දැවී අළු වී යන විට නිර්මාණකරුවන් තුළ ඇතිවූ මහා වේදනාව හා කම්පනය මුදල් වලින් තක්සේරු කළ හැකිදැයි අපි නොදනිමු.
ගින්න ඇතිවූ අයුරු
ගින්නට හේතුව නිර්මාණකරුවකුගේ නව නිර්මාණයකි. එය පෙට්‍රල් හයිබ්‍රිඩ් රයිස් කුකර්" එකකි. එම උපකරණය ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබිණි. එදින එය ප්‍රදර්ශන භූමිය වෙත රැගෙනවිත් තිබුණේ එහි නිර්මාණකරු නොව ඔහුගේ අයියාය. ඒ නිර්මාණකාර මල්ලීට සම්මුඛ පරීක්ෂණයක් සඳහා එදින යැමට තිබූ හෙයිනි. එබැවින් එම ලිප ක්‍රියාත්මක කරන අයුරු පිළිබඳ මනා පුහුණුවක්ද තම සොහොයුරාට ලබාදී තිබිණි. එහෙත් ප්‍රදර්ශන කුටිය තුළ ලිප දැල්වීමට යැමේදී ලිපේ ගින්දර එකවර නිවී ගියේය. ගින්දර නිවී ගිය හේතුව නොබලා නැවත එය දැල්වීමට යැමේදී පෙට්‍රල් කාන්දු වූ ස්ථානයකින් ගිනිදැල් හටගෙන පසුව එය අසල තිබූ පෙට්‍රල් ගැලුමකටද එකතුවී මහ ගින්නක් බවට පත්විය.
ගින්නේ වගකීම
ගින්න නිසා ඇතිවූ ව්‍යසනයට සම්බන්ධ වරදකරුවෝ රැසක් වෙතැයි කියති. සංවිධායක මඬුල්ල සහ බණ්ඩාරනායක සම්මන්ත්රණශාලාවේ නිලධාරීහුද මෙයට වගකිවයුත්තෝ යෑයි පැවසෙති.
ඇතිවූ මෙම ගින්න පිළිබඳව බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ අධ්‍යක්ෂක ජනරාල් බන්දුල නානායක්කාරගෙන් විමසූවිට දැක්වූයේ මෙවන් අදහසකි.
මේ ගින්න සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම බාරගන්න ඕනේ සංවිධායක මඬුල්ලයි. ඔවුන් දැන ගන්න ඕනෑ ඔයවගේ ගිනි ඇවිළෙන සුළු දේවල් එළිමහනක තියලා ප්‍රදර්ශනය කරන්න. ඒගොල්ලෝ ඒක කරලා නැහැ. ඒක නිසා තමයි මේ වගේ හානියක් සිදුවුණේ. අපි දන්නේ නැහැනේ මොනවා ඇතුලේ තියෙනවාද කියලා. අපි කළේ ගොඩනැඟිල්ල කුළියට දුන්න එක විතරයි. එක නිසා මේකේ වගකීම සම්පූර්ණයෙන්ම ඔවුන් භාරගත යුතුයි. මේ වුණදේ හැමෝටම හොඳ පාඩමක්. ඒ අධ්යක්ෂ ජනරාල්වරයාගේ අදහසයි.
මේ පිළිබඳව විද්‍යා හා තාක්ෂණ ඇමැති පාඨලී චම්පික රණවකගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක අදහස් දක්වමින් මෙසේ පැවැසීය.
ලිපක් දැල්වීමට යැමේදී සිදුවූ වරදකින් ගින්නක් ඇතිවුණා තමයි. නමුත් මුලින්ම ඒක විශාල ගින්නක් නොවෙයි. ඒක පාලනය කරන්න පුළුවන් එකක්. නමුත් ඒ ගොඩනැඟිල්ල තුළ ගිනි නිවීමේ උපකරණ නැහැ. අපිට මේ බව දන්වන්න හදිසි සංඥ උපකරණ තිබුණෙත් නැහැ. හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි කිසිම දෙයක් තිබුණෙ නැහැ. මම මිනිස්සුන්ට ගින්නක් කියලා කෑගහලා කිව්වේ ළඟ තිබුණ මයික් එකක් අරගෙන.
මේකේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය කියන්නේ ගින්න ඇතිවෙලා විනාඩි 5 කට විතර පස්සේ තමයි ඔවුන් ආවේ. එතකොට වෙන්න ඕන සියලුම දේ වෙලා ඉවරයි. හදිසි පිටවීමේ දොරවල් එකක්වත් අරින්න බැරිවුණා. ඒවා අරින්න කවුරුත් හිටියේ නැහැ.
මේ ගින්න ඉක්මනට නිවා දමන්න තිබුණා මෙහි සිටින නිලධාරීන් ක්‍රියාත්මක වී හරියට තම රාජකාරිය කළානම්. මේක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවක්. නමුත් ඊට සරිලන පහසුකම් කිසිවක් තිබුණේ නැහැ. මෙහි පරිපාලන නිලධාරීන් සම්පූර්ණයෙන්ම මේවට වගකියන්න ඕනෑ. ගොඩනැඟිල්ල කුළියට දුන් පමණින් ඔවුන්ට නිකන් ඉන්න බෑ. එහි වෙනදේවල් පිළිබඳවත් සොයා බැලීමේ වගකීමක් ඔවුන්ට තියෙනවා.
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ සේවය කරන තවත් ඉහළ නිලධාරීන් පිරිසක් අපට පැවසුවේ මෙවන් කතාවකි.
මේ සිද්ධියේ වැරැද්ද භාර ගන්න ඕනේ අපි. මොකද දැන් මේකේ පරිපාලන කටයුතු හරිම දුර්වලයි. කිහිප දෙනෙක් එකතු වෙලා ඒගොල්ලන්ට ඕන විදිහටයි වැඩ සිදුවෙන්නේ. මේ ගිනිගත්ත ගොඩනැඟිල්ල තාවකාලිකව ඉදිකරපු එකක්.
එකේ කිසිම පහසුකමක් නැහැ. ඔය වගේ ප්‍රදර්ශන කරන්නෙ දෙන්න ඔය ගොඩනැඟිල්ල සුදුසු නැහැ. ඔය වගේ ගොඩනැඟිලි තව හතරක් තියෙනවා. ඒවා නිසි ප්‍රමිතියකට නොවෙයි හදලා තියෙන්නේ. ඒක නිසා හරිම භයානකයි. මේවා නිසා මේ භූමියේ ඉඩකඩක් ඇහිරිලා ලස්සනත් සම්පූර්ණයෙන්ම නැතිවෙලා.
මතකද දැන් වසර ගණනකට කලින් තාවකාලික ගොඩනැඟිල්ලක කොටසක් කඩා වැටීමෙන් වෛද්‍ය ශිෂ්‍යාවක් සදාකාලිකවම අකර්මණ්‍ය තත්ත්වයට පත්වුණා. මේ ළඟදී දවසක අගමැතිතුමා උත්සවයකට ආපු වේලාවකදී බටයක් කඩාගෙන වැටුණා. අගමැතිතුමා ළඟින්මයි ඒක වැටුණේ.
ඔය තාවකාලික ගොඩනැඟිලි වලින් සමහරුන්ට වාසියි. ඒකයි ඉවත් නොකර තියාගෙන ඉන්නේ. මේවා ඉක්මනින් ඉවත් නොකළොත් ඉදිරියේදී මීට වඩා හානි සිදුවෙන්න පුළුවන්.
මේකේ ඉංජිනේරුවෙක් ඉන්නවා. එයාට කිසිම සුදුසුකමක් නැහැ. පෞද්ගලික රෝහලක වැඩ පරීක්ෂකවරයෙක් කියලයි අපට ආරංචි. මෙතන ලොක්කන්ට පන්දම් අල්ලලා තමයි එයා ඇවිත් තියෙන්නේ.
මේ ගින්නෙන් සිදුවූ අලාභය ලක්ෂ 20කට තක්සේරු කරලා තියෙනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. ඒක එහෙම වුණොත්නම් හෙණ ගහන අපරාධයක්. අපි දන්න තරමට අලාභය කෝටි 20 කට වැඩියි. මෙම ගිනි ගත්ත ගොඩනැඟිල්ල තුළ සවුන්ඩ් සෙටප්වල ඉඳන් වටිනා භාණ්ඩ රැසක් තිබුණා.
ඒවා සේරම විනාශ වුණා.දැන් මේක ඇතුළෙ විශාල වංචා දූෂණ සිදුවෙනවා. මේවා දිහා අපිට බලන් ඉන්න බැහැ. මේ සිදුවන දේවල් ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියලා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව අපට තිබෙන ජාත්‍යන්තර තලයේ සම්මන්ත්රණ ශාලාවක්. එය චීන රජයෙන් ලැබුණු පරිත්‍යාගයක්. අපට තිබුණේ මේ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව ජාතියේ නාමයෙන් නඩත්තු කර පවත්වා ගන්නටයි. නමුත් මේ ඒ කටයුත්ත කරන අපූරුවයි. විකුණගෙන කන්නට හැකි ඕනෑම දෙයක් විකුණාගෙන කන්නට කැමැති උදවිය කොතැනත් වෙති. මේ උදවිය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවත් ඉදිරියේදී අම්බලමක් නොකෙරුවොත් තමා පුදුමය.
ගයාන් සමරසිංහ