සෞදි අරාබියාවේ රැකියාවකට ගිය බිරිඳ ආපසු ගෙනැවිත් දෙන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට ඊයේ (10 වැනිදා) පැමිණි සිව්දරු පියකු කාර්යාංශය ඇතුළතදීම වස පානය කිරීමෙන් පසු රෝහල්ගත කරනු ලැබිණි.
මෙසේ වස පානය කර ඇත්තේ පුත්තලම හතේ කණුව ප්‍රදේශයේ පදිංචි ඉන්දික ප්‍රසාද් නමැති හතළිස් හැවිරිදි අයෙකි.
මීට මාස හතකට පෙරාතුව කේ. එම්. ක්‍රිෂාන්ති (32) නමැති ඔහුගේ බිරිඳ අනුරාධපුර රැකියා ඒජන්සියක මාර්ගයෙන් සෞදි අරාබියට ගොස් තිබේ.
රට ගිය බිරිඳට හිරිහැර සිදුවන බැවින් ඇය මෙරටට ගෙනැවිත් දෙන්නැයි සැමියා අනුරාධපුර
රැකියා ඒජන්සියට ගොස් ඉල්ලා ඇත. බිරිඳ යළි ගෙන්වා ගැනීමට රුපියල් තුන්ලක්‍ෂ පනස්‌දහසක් ගෙවන ලෙස ඒජන්සිය පවසා ඇත.
පසුව දරුවන් හතරදෙනා සහ නැගණිය ද කැටුව මෙම පියා බත්තරමුල්ල කොස්‌වත්ත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට පැමිණ බිරිඳ ගෙන්වා දෙන ලෙස හැඬූ කඳුළින් ඉල්ලා තිබේ.
කාර්යාංශයේ නිලධාරීන් විසින් පවතින නීති රීති හා අපහසුතාව පිළිබඳව කරුණු පහදා දීමෙන් පසුව ඉහළ මහලේ සිට පැමිණ මෙම පුද්ගලයා වයස අවුරුදු 17, 09, 07, 04 වයසේ පසුවන දරු හතරදෙනාගේ මුහුණු සිඹ ක්‍ෂණිකව කිසියම් වස වර්ගයක් පානය කර තිබේ.
සිද්ධියෙන් පසුව කාර්යාංශයේ නිලධාරීන් විසින් ඉක්‌මනින්ම වස පානය කළ පුද්ගලයා කාර්යාංශයේ ගිලන් රථයකින් කොස්‌වත්ත රෝහලට ගෙන ගිය පසු වහාම කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.
මෙම පුද්ගලයා කිසියම් පෙත්තක් සමඟ භූමිතෙල් පානය කළ බව එම ස්‌ථානයේ සිටි පිරිස් "දිවයින" ට කියා සිටියහ.
සිද්ධිය සැල වූ සැණින් ක්‍රියාත්මක වූ විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතාට කතා කර දරුවන් ආරක්‍ෂිතව ඔවුනගේ භාරකරුවන් වෙත යෑවීම සඳහා වාහනයක් ලබා දී අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් දුන්නේය.
කොළඹ ජාතික රෝහලේ 55 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන වස පානය කළ ඉන්දික ප්‍රසාද් මහතාගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් ට පැවසීය.