පෞද්ගලික බස් රථ රියෑදුරකු සිය ජංගම දුරකථනයෙන් කතා කරමින් නොසලැකිළිමත් ලෙස රිය පැදවීම නිසා ඔහු පැදවූ බස් රිය ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක හැපී සිදුවූ අනතුරින් තිස්හත්දෙනකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.
වේයන්ගොඩ උදම්මිට ප්‍රදේශයේදී ඊයේ (6 වැනිදා) සිදුවූ මෙම අනතුරින් පාසල් දරුවන්, භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් තුවාල ලැබූහ. ඉන් තිදෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
අනතුර සිදුවීමට හේතුව පෞද්ගලික බස් රථයේ රියෑදුරු ජංගම දුරකථනයකින් කතා කරමින් වැරදි පැත්තෙන් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යැම බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. අංක 61-4736 පෞද්ගලික බස් රථය හා ලංගම බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර පෞද්ගලික බස් රථයේ රියෑදුරු පොලිස් ආරක්ෂාව යටතේ දැනට වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ තත්ත්වය තරමක් අසාධ්‍ය බව පොලිසිය පවසයි.
වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව නිවුන්හැල්ල, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික සංජීව, කාන්තා පොලිස් කොස්තාපල් (4998) ඉනෝකා, පොලිස් කොස්තාපල් (87406) සුදර්ශන යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.