මේ රටේ සභ්‍යත්ව විඥානය හෝ ජනතාවගේ සාරධර්ම විනාශ කිරීමට නිමල්කා ප‍්‍රනාන්දුට කිසිදු ඉඩක් නොතබන බව ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.
ඊයේ(06) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුස්ම්මිල් මහතා එසේ අවධාරණය කළේය.
‘පසුගිය දිනවල මාධ්‍ය වල අපි දැක්කා නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය ප‍්‍රකාශ කරලා තිබුණා ගණිකා වෘත්තිය සහ ගබ්සාව නීති ගත කරන්න ඕනෙ කියලා. නිමල්කා දැනගත යුතු පළමුවැනි දේ තමයි, මේක සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ජීවත් වන රටක්. ඒ වගේම සිංහල බෞද්ධ සංස්කෘතියක්, මුස්ලිම් ඉස්ලාම් සංස්කෘතියක්, දෙමළ හින්දු සංස්කෘතියක් සහිත රටක්. එවැනි කිසිම සංස්කෘතියකින් කැසිනෝවලටවත් රේස් බයි රේස්වලටවත් ගණිකා වෘත්තිය හරි එහෙමත් නැත්නම් වෙනත් සදාචාර විරෝධී ක‍්‍රියාවන්ට ඉඩ සලසන්නෙ නැහැ. අවුරුදු 2500කට අධික ලිඛිත ඉතිහාසයක් ඇති අපේ රට, ඒ වගේම ජාතික සමගිය ආගමික සමගිය ඇති මේ රට ඒ සමගිය සහ සදාචාරයන්, සංස්කෘතීන් පරිහානියට පත් කරන්න තමයි මේ ‘එන්. ජී. ඕ. කාක්කියොන්ට’ ඕනවෙලා තියෙන්නේ. ඔය නිමල්කා ප‍්‍රනාන්දුලා කියන්නේ මේ රට දේශපාලන වශයෙන් ගණිකා වෘත්තියේ යොදවන අය, දේශපාලන වශයෙන් ගණිකා වෘත්තියේ නිරතවන අය. මානව හිමිකම් සමුළුවලට ගිහිල්ලා, අන්තර්ජාතික එන්.ජී. ඕ. වලින් පඩි අරගෙන ජීවත් වෙන අය.
ඉතිං නිමල්කා ප‍්‍රනාන්දුට අවශ්‍යතාවක් තියෙනවා නම් ඔය ගබ්සා කිරීම් හෝ ගණිකා වෘත්තීය පිළිබඳව ඔවුන් දේවත්වයෙන් අදහන බටහිර රටවල් ඊට අවස්ථාව දීලා තියෙනවා. එනිසා නිමල්කා ප‍්‍රනාන්දු ඒ රටකට ගිහිල්ලා පුරවැසිභාවය ගත්තනම් ඔය අවශ්‍යතා දෙකම ඇයට ඉටු කරගන්න පුළුවන්. එහෙම නැතුව අපේ රටේ තියෙන සභ්‍යත්වය හෝ අපේ රටේ මිනිස්සුන්ගෙ තියෙන සදාචාර සම්පන්න බව හෑල්ලූ කරන්න එපා කියලා අපි නිමල්කා ප‍්‍රනාන්දුලාගෙන් ඉල්ලනවා.
ඒ වගේම මේ රටේ කාන්තාව කියන්නේ පූජනීය කෙනෙක්. අපේ ඉතිහාසයේ අම්මලා, සහෝදරියො ඉතාමත්ම පූජනීයත්වයෙන් සැළකුවෙ.
බටහිර තියෙන දෙමාපිය සම්බන්ධය, සහෝදර සම්බන්ධය නොවෙයි අපේ රටේ තියෙන්නෙ. ඒ නිසා බටහිර අනුව හිතන නිමල්කා ප‍්‍රනාන්දුලාට තමන්ගේ දුවරු ගණිකා වෘත්තියට යවන්න පුළුවන් වුණාට, අපේ රටේ සැබෑ අම්මලා තමන්ගේ දුවරු ගණිකා වෘත්තියට යවන්න සූදානම් නැහැ කියලා අපි නිමල්කා ප‍්‍රනාන්දුලාට ප‍්‍රකාශ කරන්න කැමතියි’