-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


භික්‍ෂුන් වහන්සේට මෝටර් රථ ධාවනය කිරීම සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම යෝග්‍යද? නැද්ද? අභියාචනා අධිකරණය හමුවට විසඳීම සඳහා යොමු වී ඇති දහස් ගණන් නඩු අතර මෙම ප්‍රශ්නය විසඳීමටද සිදු වී තිබේ. වස්කඩුවේ ශ්‍රී ශාක්‍යමුනි විහාරයේ විහාරවාසී ආචාර්ය පූජ්‍ය පරගොඩ විමලවංස හිමි රියැදුරු බලපත්‍රයක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් නිසා අභියාචනා අධිකරණයට මෙම ප්‍රශ්නය යොමු වී ඇත.

අභියාචනා අධිකරණයේ අනිල් ගුණරත්න සහ දීපාලි විජේසුන්දර යන විනිසුරු මඬුල්ල මේ සඳහා පිළිතුරක් ලබාදීමට මෙම නඩුව විභාග කරගෙන යයි.
පෙත්සම්කාර හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පැවැසුවේ ඕනෑම පුද්ගලයකුට රියැදුරු බලපත්‍ර නිකුත් කරන්නේ රථ වාහන පනතට අනුව බවයි.

එම පනතේ කිසිදු වගන්තියකින් භික්‍ෂුවකට ඔහුගේ නමින් රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිඥ පීරිස් මහතාගේ තර්කයයි.
මෝටර් රථ වාහන කොමසාරිස්වරයා බලපත්‍ර නිකුත් කිරීමේ නිලධාරියාය. පෙත්සම්කාර භික්‍ෂුන් වහන්සේට රියැදුරු බලපත්‍රයක් දිය යුතුද යන්න බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් විමසා ඇත.

ඉන්පසු මෝටර් රථ කොමසාරිස්වරයා පෙත්සම්කරුගේ අයැදුම්පත ශාසන ආරක්‍ෂක මණ්ඩලය වෙත යොමුකර ඇතැයි නීතිඥවරයා සඳහන් කෙළේය.
ශාසන ආරක්‍ෂක මණ්ඩලය භික්‍ෂුවකට රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සුදුසු නොමැති බව තීරණය කළ හෙයින් පෙත්සම්කාර භික්‍ෂුන් වහන්සේ අධිකරණය හමුවට ඇවිත් තිබෙන බව නීතිඥ පීරිස් මහතා පැවැසීය.

මෝටර් රථ වාහන කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් ජනක් ද සිල්වා මහතා සහ විහාරස්ථානයේ දායක සභාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ උදිත ඉඟලහේවා නීතිඥවරු කියා සිටියේ එය විනය පිළිබඳ ප්‍රශ්නයක් බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාවෙන් රජය බෞද්ධාගම පෝෂණය කිරීමටත් එය රැකීමටත් බැඳී සිටින හෙයින් බෞද්ධ විනයට පටහැනි තීරණයක් ගැනීමට අධිකරණයට නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවැසීය.

භික්‍ෂුන් වහන්සේ නමකට රියැදුරු බලපත්‍රයක් දීම ශාසනයේ උන්නතිය සඳහා ඉවහල් වන තීරණයක්ද යන්න සලකා බැලිය යුතු බව ඔහු සඳහන් කෙළේය. රියැදුරු බලපත්‍රයක් දීම ශාසනයේ පරිහානියට ඉවහල් වන නිසා ශාසන ආරක්‍ෂක මණ්ඩලය ඊට විරුද්ධ වී තිබෙන බවද සිල්වා මහතා පෙන්වා දුන්නේය. මෙය බෞද්ධ විනය පිළිබඳව බෙහෙවින් බලපාන කරුණක් බව ජනාධිපති නීතිඥ ඉඟල හේවා මහතා තර්ක කෙළේය.

භික්‍ෂුන් වහන්සේට රියැදුරු බලපත්‍ර දීම ශාසනයේ උන්නතිය සඳහා ඉවහල් වන්නේ නම් ඒ පිළිබඳ රථ වාහන පනත මඟින් සඳහන් කර රියැදුරු බලපත්‍ර ලබාදීමට එම පනතට වගන්තියක් එක් කිරීම අනිවාර්ය වේ.

එහෙත් එයින් ශාසනයේ උන්නතියට කිසිවක් නොවන නිසා ඒ පිළිබඳව පනතට කිසිවක් ඇතුළු කර නොමැති බව ඉඟලහේවා මහතා පැවැසීය.
බුදුන් දවස භික්‍ෂුන් වහන්සේ නමකට රථයකින් යෑමට උචිත බව සඳහන් කෙළේ අසනීපයෙන් පසුවන අවස්ථාවක පමණක් බව එකල සිදු වූ සිද්ධියක් පිළිබඳව විනය පිටකය උපුටා දක්වමින් කීය. ඉතා අෑත පළාතක සිට භික්‍ෂුන් වහන්සේ නමක් බුදුන් දැකීමට සැවත් නුවරට වඩිමින් සිටියදී රෝගාතුර විය. මෙහිදී සැවත් නුවරට යන ගැල්කරුවෝ උන්වහන්සේ රථයෙන් සැවැත් නුවරට ගෙන යෑමට ඉදිරිපත් වූහ. එම භික්‍ෂුන් වහන්සේ එය ප්‍රතික්‍ෂේප කොට පා ගමනින්ම සැවැත් නුවරට වැඩම කළහ. එහිදී එහි සිටි භික්‍ෂුන් වහන්සේ මේ බව බුදුන්වහන්සේට දැන් වූ පසු බුදුන්වහන්සේ සඳහන් කළේ අසනීපයෙන් පසු වූ නිසා රථයෙන් පැමිණීම විනය කැඩීමක් නොවන බවයි. වැඩිදුර විභාගය හෙට (6දා) යළිත් ඇරැඹේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week