යතුරුපැදි ආනයනය කළ රේගු සටහන් ඉදිරිපත් කර මෝටර් රථ ලියාපදිංචි කරමින් රජයට ලැබිය යුතු රුපියල් කෝටි ගණනාවක බදු මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් ගැන තොරතුරු අනාවරණය කරන ශ්‍රී ලංකා නිදහස් රජයේ රේගු වෘත්තීය සමිති සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.ඇම්.ආර්.පී. විජේකෝන් මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.
විජේකෝන් මහතා පවසන අන්දමට මේ වංචාව සිදුකරන්නේ සුඛෝපභෝගී වාහන කොටස් වෙන් වෙන්ව එකවර හෝ අවස්ථා කීපයකදී රේගු බදු නොගෙවා වංචනිකව ගෙන්වා ඒවා මෙරටදී එකලස් කොට වාහනය සම්පූර්ණ කර යතුරුපැදි ආනයනය කළ රේගු සටහන් යටතේ ලියාපදිංචි කිරීමෙනි. මේ ජාවාරමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වංචනික නිලධාරීන්ගේ උපකාරය ලැබෙන බවද ඔහු කියයි.
2009 වසරේ ජූලි මාසයේදී රේගු සටහන් කර සී.එම්.බී. 3721, අගෝස්තු මාසයේදී සී.එම්.බී. 2919 සහ සී.එම්.බී. 2921, එම වසරේ දෙසැම්බර් සී.එම්.බී. 5063 සහ 2008 දෙසැම්බර් මාසයේදී සී.එම්.බී. 20370 යටතේ ගෙන්වූ යතුරුපැදි වෙනුවට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෑතකදී ලියාපදිංචි කර ඇත්තේ ජපානයෙන් ආනයනය කර ඇති ටොයෝටා වර්ගයේ පෙට්රල් වාහන පහක් බවද කී ලේකම්වරයා මේ එක් වාහනයකින් අවම වශයෙන් රජයට ලැබිය යුතු බදු මුදල රුපියල් තිස් ලක්ෂයකට (30,00,000) ආසන්න බවද ඒ අනුව මේ වාහන පහේ වංචාවෙන් පමණක් රුපියල් කෝටි එකහමාරක (1,50,00,000) පමණ ආදායමක් රජයට නොලැබී ඇති බවද පෙන්වා දුන්නේය.
මේ අන්දමේ අවස්ථා ගණනාවක් අනාවරණය වී ඇති අතර මේ වංචාව ගැන විගණකාධිපතිවරයා පවත්වා ඇති පරීක්ෂණයේ විස්තර වාර්තාවක් තමා සතු බවද ඩබ්ලිව්.ඇම්.ආර්.පී. විජේකෝන් මහතා එම වාර්තාවේ පිටපතක් ජනාධිපති මහින්ද රාජපක්ෂ, රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර යන මහත්වරුන්ට ඉදිරිපත් කරන බවද සඳහන් කරයි. දිගින් දිගටම සිදුවන මේ වංචා ගැන සෙවීමට කමිටුවක් පත්කරන ලෙසද ඒ මඟින් අනාවරණය වන වරදකරුවන්ට නීත්‍යනුකූලව දඬුවම් පමුණුවන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.