අනුරාධපුර නගරයේ පිහිටි ප‍්‍රසිද්ධ උපකාරක පංතියක වැසිකිළියේ වීඩියෝ සහිත ජංගම දුරකථනයක් සවිකර බාල වයස්කාර පාසල් සිසුවියන්ගේ ඡායාරූප ලබාගෙන ඒවා නැරඹූ බවට චෝදනා ලැබ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින උපකාර ඉංග‍්‍රීසි පංති ගුරුවරයා තවදුරටත් මේ මස 23වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අනුරාධපුර නව නගරයේ 5 වන පටුමගේ පිහිටි උපකාරක පංතියක ඉංග‍්‍රීසි ගුරුවරයෙකු වශයෙන් සේවය කළ ගොරකහවත්ත, හිඟුරන්ගොඩ, පදිංචි අයෙකි.
අනුරාධපුර මුලස්ථාන පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් මත සැකකාර ගුරුවරයා මේ මස 01 වන දින අත්අඩංගුවට ගත් අතර, ඔහු ළඟ තිබී අසභ්‍ය විඞීයෝ දර්ශන සහිත ජංගම දුරකථනයකුත් බාල වයස්කාර පාසල් සිසුවියන් වැසිකිළියට යන අවස්ථාවේ ඒවායේ දර්ශන විඩියෝ ගත කර එහි දත්ත ගබඩා කරගත් මෙමරි කාඩිපතක් ද අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ අදාළ ජංගම දුරකථනයට භාවිතා කළ මෙමරි කාඩිපත ඔහු විසින් කටේ දමා හපා විනාශ කර තිබුණි.
නැවතත් සැකකරු 16 වනදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේ විනාශ කරන ලද මෙමරි කාඞ්පත පොලිස් මුලස්ථානයේ පිහිටි පරිඝණක කොට්ඨාශය වෙත ඉදිරිපත් කර එහි වාර්තාවක් ලබා ගත යුතු බවයි. සැකකරු ළඟ තිබුණු ජංගම දුරකථන සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරික්‍ෂණ සිදු කරන බවත් සැකකරු ගුරු වෘත්තියේ නියැලීමට සුදුසුකම් ලබා ඇත්තෙක් ද යන්න අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් පරික්‍ෂණ සිදුකල යුතු බැවින් ඔහුට ඇප ලබා නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
බුද්ධික මහේෂ් විජේසුරිය