බොහෝ පුද්ගලික බස් රථවල අකාරුණික කොන්දොස්‌තරවරුන් සිටින බවත් මගීහු කියන දේට වත් කන් නොදෙන කොන්දොස්‌තරවරුන් සිටීම හේතුවෙන් නිරන්තරයෙන්ම මගීන් සමග ගැටුම් ඇති කර ගන්නා සිද්ධි අපට දැකගන්නට ලැබේ.
එහි ආසන්නම සිද්ධිය ඊයේ (24 වැනිදා) දැකගත හැකිවිය.
මාර්ග අංක 138 හෝමාගම සිට පිටකොටුව අතර ධාවනය වන පුද්ගලික බස් රථයක (භඊ- 6308) කන් පැලෙන්නට සංගීත නාදය දමා ඇත. මෙය මගීන්ට මහත් හිසරදයක් ගෙන දුන්නේය. බසින මගියා බසයේ සීනුව නාද කළද බස් රථයේ රියෑදුරට නොඇසේ. මගී කාන්තාවක් කිරුලපන බැසීමට සීනුව නාද කළේය. එහෙත් සංගීත නාදය නිසා බස් රථ රියෑදුරු බසය නොනවත්වාම බසය ධාවනය කළේය.
මෙයින් උරණ වූ මගී කාන්තාව තමාව නියමිත බස් නැවතුමේ නතර නොකිරීම ගැන බස් රථ කොන්දොස්‌තරවරයාටත්, රියෑදුරුටත් බැණ වැදුණේය. බස් රථය රෙදි මෝල බස් රථ නැවතුමේ නතර කළේය. මගී කාන්තාව බැන වදිමින් බසයෙන් බැසීමට උත්සාහ ගත් අවස්‌ථාවේ බස් කොන්දොස්‌තරවරයා මගී කාන්තාවට පයින් ගැසීය. ඇය වේදනාවෙන්ම බස් රථයේ ඉදිරි පෙළේ අසුනක හිඳ ගත්තාය.
"මම හාට් පේෂන් කෙනෙක් මෙන්න මේකා මට පයින් ගැහුවා. මෙහෙමද මේ අය මගීන්ට සලකන්නේ. අනේ මාව හොස්‌පිටල් අරන් යන්න. මට අමාරුයි.........." යෑයි ඇය කෑගසන්නට වූවාය.
ආවේගයට පත් තවත් මගියකු මේ සිදුවීම දැක බස් රථ රියෑදුරු කොන්දොස්‌තර අසලට පැමිණියේය.
තමුසෙලා කරපු හැම දෙයක්‌ම අපි දැක්‌කා. බස් එකේ කන් අඩි පැලෙන්න සිංදු දාලා. මේ බස් එකේ යන මගියකුට පොතක් කියවන්න බැහැ. කෝල් එකක් ගන්න බැහැ. මෙහෙමද බස් එළවන්නේ. මේවා පොදු දේපළ තමුසෙලාගේ පුද්ගලික දේපළ නොවෙයි. අපි තමයි මේවට බදු ගෙවන්නේ. තමුසෙලාට ඕන ඕන විදිහට බස් එලවන්න බැහැ. නවත්තනවා පොලිසියේ මහත්තයෙක් ළඟ...." යෑයි ආවේගයට පත් මගියා කීය. ඒ අනුව පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානය අසල සිටි පොලිස් නිලධාරි මහතකු අසල බසය නතර කළහ. ආවේගයට පත් මගියා සිදුවූ සියල්ල එම පොලිස් නිලධාරි මහතාට පැමිණිලි කළහ. ඒ අනුව පොලිස් නිලධාරි මහතා එම බස් රථ කොන්දොස්‌තරතැනට නීතිය ක්‍රියාත්මක කරනු දැකගත හැකි විය.
බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමනි, මෙවන් අකාරුණික බස් රථ සේවකයන්ට එරෙහිව දැඩිව ක්‍රියා කළ යුතු කාලය එළඹ ඇත. මේ ගැන වහා අවධානය යොමු කරන්නැයි මගී ජනතාව ඉල්ලා සිටිති.



