පස්‌වන විජයග්‍රහණයේ පෙළපාලිය පැවැත්වීමට නියමිත මාතර බස් නැවතුම්පොළ අසල පිහිටි වෙරළ මාර්ගය හා අවට ප්‍රදේශ විඩියෝගත කරමින් සිටි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු විශේෂ පොලිස් කණ්‌ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහැර ඇත.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා මාතරදී පස්‌වන විජයග්‍රහණයේ සැමරුම පැවත්වීමට නියමිතව තිබියදී පෙරේදා (14 වැනදා) පස්‌වරුවේ මොවුන් දෙදෙනා මාතරට පැමිණ රණවිරු පෙළපාලිය පැවත්වීමට නියමිත වෙරළ මාර්ය ඇතුළු අවට ප්‍රදේශ වීඩියෝගත කර ඇත.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාග්පූර් හා නාගපට්‌ටම් ප්‍රදේශවල පදිංචිකරුවන් වන ත්‍යාරාජන් ඉලංගෝවන් සහ රෙංගසාමි ගාන්ධි නමැති මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා මාසයක සංචාරක වීසා මගින් ඉකුත් හත් වැනිදා මෙරටට පැමිණ වත්තල ප්‍රදේශයේ නිවසක නවාතැන් ගෙන සිට ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
මාතරට පැමිණි මොවුන් දෙදෙනා වෙරළ මාර්ගය ඇතුළු ප්‍රදේශ වීඩියෝගත කරමින් සිටියදී එම ප්‍රදේශයේ විශේෂ ආරක්‍ෂක රාජකාරිවල යෙදී සිටින ආරක්‍ෂක බුද්ධි නිලධාරින් ඒ බව දැක මොවුන්ගෙන් ඒ පිළිබඳ විමසීමට සැරසෙද්දී මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකට නැග පලා ගොස් තිබේ.
පසුව වැලිගම ප්‍රදේශයේදී විශේෂ මාර්ග බාධක දමා බස් රථය නතර කර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම ඉන්දීය ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය ඇතුළු බුද්ධි නිලධාරින් හා පොලිසිය විශේෂ විමර්ශනයක් පවත්වා ඇති අතර එහිදී මොවුන් ඉන්දියාව තුළ හෝ පිටත කිසිදු රටකදී කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සම්බන්ධ වී නැති ඉන්දියාව තුළ පිළිගැනීමට ලක්‌ව සිටින කෝටිපතියන් දෙදෙනකු බවට අනාවරණය වී ඇත.
ඒ අනුව මොවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් සඳහන් කළේය.

.jpg)

