-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රත්නපුර ඇඹිලිපිටිය පාදුක්‌ක ප්‍රදේශවල දිමුතු සර් පැවැත්වූ ටියුෂන් පංති බෙහෙවින් ජනප්‍රිය වී තිබුණේය. ඒ මීට වසර හතර පහකට උඩදීය. ඉතාම සරල ආකාරයට ඉගැන්වීමේ රටාවක්‌ අනුගමනය කිරීම නිසා දිමුතු සර්ගේ ටියුෂන් පංතියට දරුවන් වැලනොකැඩී එන්නට පුරුදුව සිටියහ. ඔහු ඒ තරමටම ජනප්‍රිය චරිතයක්‌ බවට පත්ව සිටියේය.

ගණිතය විෂය කෙරෙහි ඔහුට තිබුණේ උපන් හපන්කමකි. හංවැල්ල ප්‍රදේශයේ හැදී වැඩුණු ඔහු අපොස උසස්‌ පෙළ දක්‌වා අධ්‍යාපනය ලැබුවේය. එහෙත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට තරම් වාසනාවක්‌ ඔහුට උරුම වී තිබුණේ නැත.

වැඩිදුර අධ්‍යාපනය අතහැර දැමූ දිමුතු ටියුෂන් පංති රස්‌සාවට අතගැසුවේ ඒ තමන් සතුව ඇති උපන් හපන් කම්වලින් ප්‍රයෝජන ගැනීම සඳහාය. කෙටි කාලයකින් කෙටි මාර්ගවලින් වැඩිපුර මුදල් ඉපයීමේ ආශාවක්‌ ඔහු තුළ තිබුණේ කුඩා කල සිටය. ඒ සඳහා දිමුතු ඕනෑම දෙයක්‌ කරන තත්ත්වයකට පත්ව සිටියේය.

පරිගණක තාක්‍ෂණය ද ඉතාම හොඳින් හදාරා සිටි දිමුතු ඉන් ප්‍රයෝජන ගැනීමට නිතරම සිහින මැව්වේය. පරිගණක පරිහරණය කිරීම පමණක්‌ නොව ඒවා අලුත්වැඩියා කිරීමට පවා ඔහු තුළ සුවිශේෂී හැකියාවක්‌ තිබුණේය.

2008 වර්ෂය වන විට දිමුතු යොවුන් වියේ පසු වූ 26 හැවිරිදි තරුණයකු විය. පරිගණක තාක්‍ෂණය ඔස්‌සේ නව සොයා ගැනීම් කිරීමට ඔහු හැම විටම උත්සාහ කළේය. පරිගණක තාක්‍ෂණය යොදා ගෙන රුපියල් දහසේ ව්‍යාජ නෝට්‌ටුවක්‌ දිමුතු නිර්මාණය කරන්නේ විනෝදාංශයක්‌ ලෙසය. ඔහු නිර්මාණය කළ ව්‍යාජ රුපියල් දහසේ නෝට්‌ටුව නීත්‍යනුකූල මුදල් නෝට්‌ටුවට බෙහෙවින් සමාන විය.

තමන් නිර්මාණය කළ මුදල් නෝට්‌ටුව තම සමීපතම මිතුරන් කිහිප දෙනකුටම පෙන්වූවේය.

මේක නම් මචං මාරම නිර්මාණයක්‌ කොහොමටවත් හොයන්න බෑනේ මේ නෝට්‌ටුව හොර එකක්‌ කියලා.

දිමුතුගේ මිතුරන් ඔහුට කීවේය. මිතුරන්ගේ වර්ණනාවලින් ඔහු තව තවත් දිරිමත් වුණේය.

" අපි මේ නෝට්‌ටුවක්‌ හෙමිහිට එළියට දාලා බලමු.

මිතුරකුගේ ඉල්ලීමට දිමුතු කැමැත්ත පළ කළේය. නීත්‍යනුකූල මුදල් නෝට්‌ටු කීපයක්‌ සමග ව්‍යාජ නෝට්‌ටුව වෙළෙඳපොළට දැමීමට දිමුතුගේ මිතුරකු කටයුතු කළේය. ඔහුගේ සැලසුම සාර්ථක විය. කිසිම ආකාරයක ගැටලුවකින් තොරව දහසේ ව්‍යාජ නෝට්‌ටුව මාරු කර ගැනීමට මිතුරාට හැකියාව ලැබුණේය.

මචං මේක මරු බිස්‌නස්‌ එකක්‌ කර ගන්න පුළුවන්. උඹ සල්ලි අච්චු ගහපං අපි ඒවා හෙමිහිට මාරු කරලා දෙන්නම්.

දිමුතුගේ මිතුරන් ඔහුට අලුත් යෝජනාවක්‌ ගෙන ආවේය. කෙටි මාර්ගවලින් මුදල් ඉපයීමේ දැඩි ආශාවකින් සිටි දිමුතු එකපයින්ම ඊට කැමති වුණේය.

දිමුතු සර් ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණය කිරීමේ ජාවාරමට අත ගසන්නේ එතැන් සිටය. රුපියල් 500 සහ 1000 ව්‍යාජ නෝට්‌ටු මුද්‍රණය කර ඒවා සිය මිතුරන්ට ලබා දුන් දිමුතු හොර රහසේම නීත්‍යනුකූල මුදල්වලට මාරු කර ගත්තේය. මාරු කරන මුදල්වලින් කොටසක්‌ මිතුරන්ට ලබාදුන් ඔහු ඉතිරි කොටස තමන් සතු කර ගත්තේය.

ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණය කිරීම බෙහෙවින් ජනප්‍රිය වන්නට වූවේය. මාසයක්‌ තිස්‌සේ උගුර ලේ රහ වනතුරු කෑගසමින් ටියුෂන් ලබා දී උපයන මුදල් සතියකින් දෙකකින් සොයා ගන්නට දිමුතුට හැකි විය.

අනෙකුත් සියලු වැඩ කටයුතු පසෙකට දැමු දිමුතු උදේ සිට රෑ එළිවනතුරු ව්‍යාජ දහසේ නෝට්‌ටු මුද්‍රණය කරන්නට පටන් ගත්තේය. හංවැල්ල ප්‍රදේශයෙන් නිවසක්‌ කුලියට ගත් දිමුතු ටියුෂන් රැකියාවත් පසෙකට දමා ව්‍යාජ මුදල් නෝට්‌ටු මැවීමේ ජාවාරමට අත ගැසුවේ. වැඩි දවසක්‌ ගත වුණේ නැත. දිමුතුගේ අතට රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ගලා එන්නට වූයේය.

එහෙත් වැඩි දවසක්‌ මේ ව්‍යාපාරය කරගෙන යැමට දිමුතුට ඉඩ ලැබුණේ නැත. ව්‍යාජ මුදල් මාරු කිරීම සඳහා යොදවා සිටි සිය සමීපතම මිතුරන් දෙදෙනා මහරගමදී පොලිසියට කොටුවන්නේය. ඒ 2009 වර්ෂයේ නොවැම්බර් මාසයේදීය.

මහරගම පොලිසිය අත්අඩංගුවට ගත් දිමුතුගේ මිතුරන් දෙදෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්වන්නේ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහාය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් නෝට්‌ටු වැටලීමේ ඒකකය කළ ප්‍රශ්න කිරීම් හමුවේ දිමුතු පිළිබඳ තොරතුරු කරළියට එන්නේය.

සර්........ දිමුතු කියලා අපේ යාළුවෙක්‌ තමයි සල්ලි අච්චු ගහන්නේ. එයා හංවැල්ල පැත්තෙ එක්‌කෙනෙක්‌ ටියුෂන් මාස්‌ටර් කෙනෙක්‌.

දිමුතුගේ මිතුරන් දෙදෙනා සියලු තොරතුරු හෙළිදරව් කරන්නට වූවේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිමුතු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළහ. දින කීපයක්‌ ඇතුළත දී දිමුතු පොලිසියට කොටුවිය. ඒ වන විට දිමුතු රුපියල් ලක්‍ෂ ගණනක්‌ වටිනා ව්‍යාජ රුපියල් 1000 සහ 500 නෝට්‌ටු මුද්‍රණය කර බෙදා හැර තිබුණේය. 

අධිකරණයට ඉදිරිපත් කළ දිමුතු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඔහුගේ මිතුරන්ට සිදු වූයේද ආණ්‌ඩුවේ බෝඩිමේ බත්වල රස බැලීමටය. මාස ගණනක්‌ බන්ධනාගාරගතව සිටි දිමුතු ඇප මත මුදා හැරීමෙන් පසු නැවතත් හංවැල්ලේ සුපුරුදු පදිංචියට එන්නේය. කෙටි මාර්ගවලින් ඉක්‌මනින් මුදල් ඉපයීමේ රසය තවමත් ඔහුගේ සිතෙන් පහව ගොස්‌ තිබුණේ නැත.

ඔහු නැවතත් සුපුරුදු ජාවාරමට අත ගසන්නේය. ජාවාරම සඳහා තවත් මිතුරන් කීප දෙනෙක්‌ සම්බන්ධ කර ගන්නේ ලාභය වැඩිකර ගැනීම සඳහාය.

රටේ විවිධ ප්‍රදේශවලට ගොස්‌ ඉතාම රහසිගත ආකාරයට ව්‍යාජ මුදල් අච්චු ගැසීමේ කාර්ය කිරීමට දිමුතු වගබලා ගත්තේය. ඔහු එසේ කළේ ආරක්‍ෂක හේතූන් මතය. පොලිසියට හසු නොවීමටය.

හෝමාගම, මහනුවර, තෙල්දෙණිය මහියංගණය, පිළියන්දල ප්‍රදේශවල මෙන්ම දකුණු පළාතේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් දිමුතු ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණය කිරීමේ ජාවාරම ජයටම කරගෙන ගියේය.

කොයිතරම් ව්‍යාජ නෝට්‌ටු මුද්‍රණය කළද ඔහු ඉන් සෑහීමට පත් වූයේ නැත. හොර නෝට්‌ටු නීත්‍යනුකූල මුදල් බවට පරිවර්තනය කරගෙන ඒ මුදල් දිමුතු අත දිග හැර වියදම් කළේය. සියලු සැප සම්පත් විඳින්නට පටන් ගත්තේය. සුරූපී තරුණ කාන්තාවන් ඇසුරට දිමුතු ප්‍රිය කළේය. සුරූපී තරුණියන් වෙනුවෙන් අත දිග හැර මුදල් වියදම් කරන්නට ඔහු කිසිවිටෙකත් පසුබට වුණේ නැත.

දිමුතු විවාහ වූයේ මීගොඩ ප්‍රදේශයේ තරුණියක සමගය. ඒ ප්‍රේම සම්බන්ධතාවක්‌ මතය. දිමුතුට දාව දියණියන් දෙදෙනෙකි. නීත්‍යනුකූල බිරිඳට අමතරව අනියම් බිරින්දෑවරුන් හය දෙනෙක්‌ ඇසුරු කිරීමට තරම් ඔහු සල්ලාලයකු බවට පත්ව සිටියේය.

සියලු සුඛවිහරණයන් විඳිමින් සල්ලාල ජීවිතයක්‌ ගත කළ දිමුතු නැවතත් පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේය. ඒ ව්‍යාජ දහසේ නෝට්‌ටු තොගයක්‌ ද සමගය. 2013 වර්ෂය වනවිට දිමුතු සිවු වතාවක්‌ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබිණි.

ඒ සෑම අවස්‌ථාවකදීම ඇප ලබා පැමිණි පසු දිමුතු සුපුරුදු ජාවාරමට අතගැසුවේය. 

එම ජාවාරමට සම්බන්ධවී සිටියදී අත්අඩංගුවට පත්වූවන්ගේ පවුල්වල දුක සැප බැලීම දිමුතුගේ පුරුද්දක්‌ විය. සිය ගෝල බාලයන්ට උසාවි යැමට පවා මුදල් ලබා දුන්නේ ඔහුය.

පොලිසියට කොටුවන තම මිතුරන්ගේ බිරින්දෑවරුන්ගේ සුවදුක්‌ සොයා බැලීමට සැමවිටම ඔහු කටයුතු කළේය. ව්‍යාජ මුදල් ජාවාරමේ සිටියදී පොලිසියට කොටුවන මිතුරන්ගේ රූමත් බිරින්දෑවරුන් තමන් වෙත නම්මා ගැනීමේ සුවිශේෂ හැකියාවක්‌ දිමුතු සතු විය.

ඔහු බොහෝ විට අනියම් බිරින්දෑවරුන් ලෙස තබා ගත්තේ තම ජාවාරමට සම්බන්ධවී බන්ධනාගාරගතවූ මිතුරන්ගේ බිරින්දෑවරුන්ය. දිමුතු තම නීත්‍යනුකූල බිරිඳට අමතරව අනුරාධපුරයේ අනියම් බිරිඳක්‌ ඇසුරු කළේය. හංවැල්ල, මහියංගණය, තිස්‌සමහාරාම, රක්‌වාන ප්‍රදේශවල අනියම් බිරින්දෑවරුන් ඇසුරු කරන්නට පුරුදුව සිටියේය. සුරූපී කාන්තාවන්ද දිමුතු පසුපස ඇදී ආවේ පහන් එළිය පසු පස හඹා යන පළඟැටියන් ලෙසය.

2013 වර්¨ෂය වන විට දිමුතු ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණයේ ප්‍රධාන ජාවාරම්කරුවන් කිහිප දෙනකුගෙන් එකකු බවට පත්ව සිටියේය.

ඒ වනවිට ඔහු රුපියල් කෝටියකට ආසන්න රුපියල් 1000 සහ 500 ව්‍යාජ නෝට්‌ටු මුද්‍රණයකර බෙදා හැර තිබුණේය.

මොහු දිගින් දිගටම ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණය කර මුදල් සංසරණයට යෙදවීම රටේ ආර්ථිකයටද භයානක තත්ත්වයක්‌ ගෙන දුන්නේය.

දිමුතු ව්‍යාජ නෝට්‌ටු මුද්‍රණයේ ප්‍රධානියකු බවට රහස්‌ පොලිසිය දැන සිටියත් ඔහු අත්අඩංගුවට ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවීය. ඒ වන විට ඔහු අධිකරණ 4 ක්‌ම මග හරිමින් සිටියේය. එක්‌ ස්‌ථානයක නොසිට රටේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් මුදල් අච්චු ගැසීම නිසා දිමුතු අත්අඩංගුවට ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ වී තිබුණේ නැත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනවිරත්න, අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගාමිණි මතුරට යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත සහකාර පොලිස්‌ අධිකාරි පී. අම්පාවිල මහතාගේ අධීක්‍ෂණයෙන් දිමුතු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කෙරිණ. දහසේ පන්සියයේ නෝට්‌ටුවලට අමතරව දිමුතු රුපියල් දෙදහසේ ව්‍යාජ නෝට්‌ටු මහා පරිමාණයෙන් මුද්‍රණය කරන බව තොරතුරු අම්පාවිල මහතා වෙත ලැබී තිබිණි. ව්‍යාජ මුදල් වැටලීමේ ඒකකයේ ස්‌ථානාධිපති නලින් ප්‍රියදර්ශනගේ මෙහෙයවීමෙන් දිමුතු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ වූයේය.

දිමුතු පරිහරණය කරන ජංගම දුරකථනයක අංකය පොලිසිය වෙත ලැබෙන්නේ ඔහුගේම සගයකුගේ මාර්ගයෙන්ය. මේ දුරකථන අංකය ඔස්‌සේ පරීක්‍ෂණ ක්‍රියාත්මක කෙරිණි. එහෙත් දිමුතු විවිධ ප්‍රදේශවල සැරිසරමින් සිය ජාවාරම ක්‍රියාත්මක කිරීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීම ලෙහසි පහසු කටයුත්තක්‌ වූයේ නැත.

දිමුතුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වන ප්‍රදේශය නිවැරදිව හඳුනා ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔක්‌තෝබර් 27 වැනිදා දහවල් සිය මෙහෙයුම ක්‍රියාත්මක කළේය.

මාලබේ කොමාෂල්වත්ත ප්‍රදේශයේ නිවසක දිමුතු සැඟවී සිටින බවට තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබෙන්නේ ඔහු පාවිච්චි කරන ජංගම දුරකථනය ඔස්‌සේය.

උප පොලිස්‌ පරීක්‍ෂක නලින් ප්‍රියදර්ශන ඇතුළු නිලධාරීන් පිරිස මාලඹේ කොමාෂල්වත්ත ප්‍රදේශය පුරා ඇති නිවාස පීරන්නට වූහ. පැයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ කළ පරීක්‍ෂාවෙන් පසු දිමුතු සිටින නිවස හඳුනා ගැනීමට පොලිස්‌ නිලධාරීන් සමත් වූහ.

එය කුලී නිවසකි. ඇතුළත නොපෙනෙන ආකාරයට උස්‌වූ තාප්පයකින් වටවී තිබූ නිවසේ ඉදිරිපස විශාල ගේට්‌ටුවකි.

පොලිස්‌ නිලධාරීන් නිවස වටකර ඉදිරිපස ගේට්‌ටුව විවෘත කළෝය. ගේට්‌ටුව විවෘත වන හඬින් කලබල වූ දිමුතු ක්‍ෂණයකින් ක්‍රියාත්මක වූවේය. පොලිසිය නිවසට පැමිණ සිටින බව ඔහු තේරුම්ගෙන සිටියේය.

නිවසේ පිටුපස ඇනෙක්‌සියෙන් පිටතට ආ දිමුතු එකවරම උස තාප්පය වෙත බඩගෑවේය. විලි වැසෙන සේ තුවා කෑල්ලක්‌ ඇඳ සිටි දිමුතු නිවසේ තාප්පය මතට නැගී ඉන් බිමට පැන පලා ගියේය. පලායන දිමුතු අල්ලා ගැනීම සඳහා රහස්‌ පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ ඔහු ලුහුබඳිද්දී අනෙක්‌ නිලධාරීන් නිවසේ ඇනෙක්‌සියට ඇතුළු වූහ.

තමන් නිවැරදිම අවස්‌ථාවේ නිවැරදිම ස්‌ථානයට පැමිණ සිටින බව රහස්‌ පොලිස්‌ නිලධාරීන්ට වැටහිණි. පරිගණක යන්ත්‍ර ප්‍රින්ටර් යන්ත්‍ර ඇතුළු තවත් උපකරණ රැසක්‌ ඇනෙක්‌සියේ විය.

උණු උණුවේම මුද්‍රණය කළ රුපියල් දෙදහසේ නෝට්‌ටු 3500 එහි විය. මුදල් මුද්‍රණය සඳහා යොදාගන්නා කඩදාසි 2400 කි. අඩක්‌ මුද්‍රණය කළ තවත් නෝට්‌ටු විශාල ප්‍රමාණයක්‌ විය. මුද්‍රණය කළ සහ අඩක්‌ මුද්‍රණය කළ මුදල් නෝට්‌ටුවල වටිනාකම රුපියල් ලක්‍ෂ 70 ක්‌ විය.

පලාගිය දිමුතු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා පොලිසියේ සහායද ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිධාරීන් පියවර ගත්හ. ඊට අමතරව ප්‍රදේශවාසීන්ගේ සහාය ද ඔවුන්ට ලැබී තිබිණි. 

සවස 2.30 දිමුතුගේ නිවස වැටලූ පොලිසිය එතැන් සිට ඔහු සොයා ගම පීරන්නට වූහ. කෙමෙන් කෙමෙන් රෑ බෝ වන්නට වූවේය. එහෙත් දිමුතු ගැන කිසිම හෝඩුවාවක්‌ නැත.

රැකියා සඳහා නිවෙස්‌වලින් පිටව ගිය ප්‍රදේශවාසීන් තම නිවෙස්‌වලට එමින් සිටියහ. රහස්‌ පොලිස්‌ නිලධාරීන් ප්‍රදේශයේ සියලුම පදිංචිකරුවන් දැනුවත් කරමින් කියා සිටියේ තම නිවෙස්‌ සහ සිවිලින් පරීක්‍ෂා කරන ලෙසයි.

මේ අතර එක්‌ නිවසක පදිංචිකරුවකුගෙන් පොලිස්‌ නිලධාරීන්ට තොරතුරක්‌ ලැබුණේය.

ඒ අනුව පොලිස්‌ නිලධාරීන් ඒ නිවස වට කළහ. නිවසේ වහළයත් කොන්ක්‍රීට්‌ තීරුවත් අතර වූ පටු ස්‌ථානයක සැඟවී සිටි දිමුතු අත්අඩංගුවට පත් වුණේය. ඒ වනවිට ඔහු විලි වසාගෙන සිටි තුවා කැබැල්ලවත් සිරුරේ තිබුණේ නැත.

නිරුවතින්ම දිමුතු අත්අඩංගුවට ගත්a පොලිස්‌ නිලධාරීන් ඔහු රැගෙන ගියේ පැය පහකට ආසන්න කාලයක්‌ තිස්‌සේ කළ මෙහෙයුම අවසන් කරමින්ය.

දිමුතු සැඟවී සිටි නිවස ඔහු කුලියට ගෙන තිබුණේ මීට සති දෙකකට උඩදීය. ඒ මාසයකට රුපියල් පන්දහසක කුලී පදනම මතය.

දිනකට රුපියල් දෙදහසේ නෝට්‌ටු 20 ක්‌ ඔහු මුද්‍රණය කරන අතර ඒ හා සමාන ප්‍රමාණයක්‌ ඔහුගේ මිතුරන් විසින් මුදල් සංසරණය සඳහා යොදවයි.

වයස්‌ගත පුද්ගලයන් සිටින ව්‍යාපාරික ස්‌ථාන, මත්පැන් අලෙවිසල්. ඉන්ධන පිරවුම්හල් වැනි ස්‌ථාන ව්‍යාජ මුදල් මාරු කිරීම සඳහා ඔවුන් යොදාගනිති.

ඒ ආකාරයට දීර්ඝ කාලයක්‌ තිස්‌සේ රටේ ආර්ථිකයට මහා විනාශයක්‌ කළ ව්‍යාජ මුදල් නෝට්‌ටු ජාවාරමේ මහ මොළකරු, කොටුකර ගත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දක්‌ෂතාව නිසාය.

දිමුතු මුද්‍රණය කරනු ලැබූ රුපියල් දහසේ, දෙදහසේ ව්‍යාජ මුදල් නෝට්‌ටු ලක්‍ෂ 60 කට වැඩි ප්‍රමාණයක්‌ මුදල් සංසරණයට එක්‌කර ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙයි. මුදල් පරිහරණයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු අඟවයි.

සැකකටයුතු මුදල් නෝට්‌ටුවක්‌ තමන් සන්තක වුවොත් වහාම එය ළඟම ඇති පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙස රහස්‌ පොලිසිය ඉල්ලා සිටියි. එසේ නොකළහොත් අමාරුවේ වැටෙන්නේ මුදල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයාය.

හේමන්ත රන්දුණු

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos