සනත් ජයසුරිය, ස්‌ත්‍රී ලෝලියකු බවත්, අසම්මත හැසිරීම්වලින් යුත් අයෙකු බවත්, ඔහු සමග යළි දීගකෑමේ කිසි බලාපොරොත්තුවක් නැති බවත් ඔහුගේ විවාහක බිරිඳ වන එස්. කේ. සැන්ඩ්‍රා ටානියා රෝස්‌මේරි ද සිල්වා මහත්මිය පවසයි.
සනත් ජයසූරිය සමග විවාහ වී ටික කලකට පසුව ඔහු තමාගෙන් වෙන්වීමට උසාවියක නඩුවක් පැවරූ නමුත් තමා ඊට වෙන්වීමට විරුද්ධ වූ බවත්, කෙසේ හෝ එම නඩුව දුරදිග නොගොස් පසුව සමථයකට පත්වූ බවත්, දරුවන් තිදෙනාගේ භාරකාරත්වය තමාට ලැබුණ බවත් ඇය කියා සිටී.
ඒ සිද්ධියෙන් පසුවද ඔහුගේ ගති පැවතුම් ගැන එතරම් පැහැදීමක් තමා කෙරෙහි නොවූවත් දරුවන්ගේ යහපත සුබ සිද්ධිය වෙනුවෙන් විශාල කැපවීමක් කරමින් දිගටම ඔහු සමග සිටි බවත් යළි පෑහීමක් නොවන අන්දමට 2013 අප්‍රේල් මාසයේ දී දෙදෙනා අතර සම්බන්ධය බිඳ වැටුණ බවත්, සැන්ඩ්‍රා පවසයි.
ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක, මෑතදී රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයකට පත්වූ මාතර දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතාගෙන් නීත්‍යනුකූලව වෙන්වීම සඳහා ඔහුගේ විවාහක බිරිඳ එස්. කේ. සැන්ඩ්‍රා ටානියා රෝස්‌මේරි ද සිල්වා මහත්මිය නීතිඥවරියක මාර්ගයෙන් ඊයේ (25) කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කල නඩුවක ඉහත කාරනා සඳහන්වේ.
ජයසූරිය මහතා අන් අයගේ උසිගැන්වීම්, පෙළඹවීම් පිට නොමඟ ගොස් ඔහු සතු දේපොළ පැවරීම් කරනු ඇතැයි සැකයක් ඇති නිසා දරුවන් වෙනුවෙන් ඒවා සුරක්‌ෂිත කරගැනීම සඳහා මෙම නඩු කටයුත්ත උසාවියට යොමුකළ බවත් ඇය සිය පැමිණිල්ලෙන් කියා සිටින්නීය.
ටානියා රෝස්‌මේරි සනත් ජයසූරියගේ දෙවැනි විවාහක බිරියයි. ඔහුට දාව ඇයට දරුවන් තිදෙනෙකි. බිරිඳ ළඟ සිටින දරුවන් තිදෙනාගේ නඩත්තුව සඳහා රුපියල් කෝටි 20 බැගින් සහ ඇගේ නඩත්තුවට වෙනම රුපියල් කෝටි 20 ක් ඔහුගෙන් එකවර ලබාදෙන ලෙසද ඇය නඩුවෙන් ඉල්ලා ඇත.
සනත් ජයසූරිය මේ වන විට විශාල ධනස්‌කන්ධයක් හිමි අයෙක් බවත්, ඔහු සතු මුදල් වංචල හා නිශ්චල දේපොළවල වටිනාකම රුපියල් බිලියන ගණනක් වන බවත්, වාණිජ ආයතන රැසක කොටස් විශාල ප්‍රමාණයක් ඔහු මිලදී ගෙන ඇති බවත්, තමා නොදන්නා තවත් දේපොළ ඔහු සතුව තිබිය හැකි බවත්, කොළඹ අගනුවර පිහිටි ප්‍රධාන පෙළේ බීම හලක් (Q BAR) ඔහු මිලදී ගත්බව ඇය කියා සිටී.
මේ වන විට ඔහු සතු දේපොළවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔහු දරුවන් තිදෙනාගේ නමට ලියා පවරා දී ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.