-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

2012 වසරේ මැයි මාසයේදී 14 හැවිරිදි දැරියක් තිරිසන් ලෙසට කෙලෙසා දැමුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අකුරැස්ස ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සාරුව ලියනගේ සුනිල්ය. ඔහුගේ නින්දිත ආශාවන්ට ගොදුරුවූ දැරිය ඉන් පෙර තවත් තරුණයන් දෙදෙනෙකු විසින්ද කෙලෙසා දමනු ලැබීය.

එම දැරිය එවකට ඉගෙන ගත්තේ අකුරැස්ස ප‍්‍රදේශයේ පාසලකය. නමුත් මෙම අවාසනාවන්ත සිදුවීමට ඇය ගොදුරුවූ පසු ඇයට පාසලේ ඉගෙන ගැනීමට හෝ ගමේ ජීවත්වීමට හෝ නොහැකිවිය. ගමේ ජීවත්වීමට නොහැකි තැන ඇය දෙමාපියන් සමග කාටත් හොරෙන් බණ්ඩාරවෙල ප‍්‍රදේශයට ගියේ අතීතය අමතකකර දමා යළිත් ඉගෙනගැනීමේ අරමුණෙනි.

ඒ අනුව ඇය බණ්ඩාරවෙල කුඩා කුසුම් විද්‍යාලයට ඇතුළත් වූවාය. නමුත් වැඩිදවසක් ඇයට එහි අධ්‍යාපනය ලැබීමට නොහැකිවිය. ඇගේ මවට පසුගිය ඔක්තොම්බර් 07 වෙනිදා පාසලට පැමිණෙන ලෙස දන්වා විදුහල්පතිවරයා පණිවුඩයක් යවා තිබුණි. ඒ අනුව පාසලට පැමිණි මවට අසන්නට ලැබුණේ තම දියණිය සම්බන්ධයෙන් අවාසනාවන්ත පුවතකි.

එහිදී විදුහල්පතිවරයා මවට පවසා ඇත්තේ දියණිය පාසලේ තබා නොගන්නා ලෙසට තර්ජනය කරමින් මාතරින් දුරකථන ඇමතුම් ලැබෙන බවකි. විදුහලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ ආරක්ෂාව පිණිස දියණිය පාසලෙන් අස්කර ගන්නා ලෙස ඔහු මවට දැනුම්දී ඇත.

 එහිදී විදුහල්පතිවරයා යෝජනා කර ඇත්තේ කැමැත්තෙන්ම පාසලෙන් ඉවත්වූ බව කියා ලියවිල්ලක් සකස්කර දෙන ලෙසය. ඒ අවස්ථාවේ අසරණ වූ දැරියගේ මව විදුහල්පතිවරයාගේ යෝජනාවට එකඟවී දැරිය පාසලෙන් අස්කර ගත්තාය. දියණිය සමග යළිත් අසරණ වූ මව සාධාරණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරණු ලැබුවේ පසුගිය 10 වෙනිදාය.

ඇයට සිදුවූ අසාධාරණයට විරුද්ධව අධිකරණයෙන් පිහිට පැතූ දිනට පසු දින එනම් 11 වෙනිදා ගැහැනු ළමුන්ගේ දිනය සමරනු ලැබිණි. එක්සත් ජාතීන්ගේ සංගමය ගැහැනු දරුවන්ගේ දිනය සැමරීමේ තේමාව ලෙස යොදාගෙන තිබුණේද ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා නව ප‍්‍රවණතා (Innovationg for girls education) යන්නයි.

ලෝකය ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනයේ නව ප‍්‍රවණතා සොයමින් ගමන් කරන යුගයක අපේ රටේ පාදඩ දේශපාලකයන් විසින් කෙළෙසූ දැරියන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතියද අහිමිකිරීම අතිශය ඛේදජනකය.

දැන් 15 වෙනි වියේ පසුවන මේ දැරිය ලබන වසරේ අ. පො. ස. (සා/පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිතය. ජීවිතයේ සියල්ල පාදඩ රැලක් විසින් උදුරාගත් පසු ඇයට එකම පිහිට වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබ ජීවිතය ජය ගැනීම පමණි. අද ඇයට එම අවස්ථාවද අහිමිකර දමා ඇත.

දැන් ඇය ඇතුළු පවුලම යළි කබලෙන් ලිපට වැටී අවසානය. වැඩි දවසක් යන්නට මත්තෙන් ඔවුන්ට එම ගමේද වාසය කිරීමට නොහැකි වනු ඇත. යළිත් ඔවුන් දෙස වපරැසින් බලන විට එයින් ගැලවීයාම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. නමුත් දරිද්‍රතාවයෙන් හෙම්බත්වී සිටින මේ දැරියගේ දෙමාපියන්ට වසරක් ගාණේ තමන් ජීවත්වන ස්ථාන මාරු කිරීමේ හැකියාවක් නැත.

අපහසුවෙන් වුවද වෙනත් ප‍්‍රදේශයකට ගියත් පාදඩ දේශපාලකයාගේ ම්ලේච්ඡ ක‍්‍රියාවන්ගෙන් ගැලවී සිටීමට ඔවුනට නොහැකි වනු ඇත. එබැවින් සෑම තැනින්ම මේ දැරියගේ ජීවිතය අනාරක්ෂිත තත්වයට යළිත්වරක් ඇද වැටී අවසානය. නමුත් ඇය රැකගන්නට හෝ ඇය වෙනුවෙන් පෙනී සිටින්නට මෙරට දරුවන් වෙනුවෙන් කටයුතුකරන රාජ්‍ය ආයතන හෝ සිවිල් සංවිධාන මෙතෙක් මැදිහත්වී නොමැත.

මේ කුඩා දැරිය කෙලෙසා දැමූ ආණ්ඩුවේ පාදඩ දේශපාලකයා අද නිදැල්ලේය. ඔහුට නීතිය ක‍්‍රියාත්මක වූයේද අවම වශයෙනි. සමාජය විසින් ගල් ගසා පලවා හැරිය යුතු මෙවැනි පාදඩයන් අපේ සමාජය යළි යළිත් පිළිගනු ලබයි. ඔහු නිදහස් කරන මෙන් ඉල්ලමින් පන්සල්වල බෝධි පූජා පැවැත්විණි. ගව ඝාතනයට විරුද්ධව ගිනි තියාගත් භික්ෂුහු ස්ත‍්‍රී දූෂකයන් වෙනුවෙන් මුණිවත රැක්කාහ.

අසල්වැසි ඉන්දියාවේ පවා ස්ත‍්‍රී දූෂකයන්ට නීතිය නිසියාකාරව ක‍්‍රියාත්මක කරන මෙන් ඉල්ලා ජනතාවෝ ලක්ෂ ගණන් විදී බසිද්දී අපේ සමාජයේ ජනතාවෝ ස්ත‍්‍රී දූෂක පාදඩ දේශපාලකයා නිවැරැදි යැයි කියමින් ඔහුට සහාය පතා වීදි බැස්සාහ. සියල්ල සිදුවූයේ පාදඩ දේශපාලකයාට වාසි සහගත ලෙසිනි.

 එබැවින් ඔහු අද සුපුරුදු ලෙසම පාලකයන්ගේ දේශපාලන ක‍්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටියි. නුදුරේදී දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ඊට තරග කිරීමට සූදානමින් සිටින ආණ්ඩුවේ ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුතා වන පසිදු යාපා අබේවර්ධනගේ ඡන්ද ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් දර දිය ඇදීමේ කටයුත්තේ නිරතව සිටින්නේද මේ පාදඩ දේශපාලකයාය. එබැවින් ඔහුට පාලකයන්ගේ දේශපාලන රැකවරණය නිරතුරුව ලැබෙන බව නොරහසකි.

ස්ත‍්‍රී දූෂකයන්ට රැකවරණය දෙමින් ඔවුන්ව තම ඔඩොක්කුවේ තබාගෙන සිටින පාලකයන් විලිලැජ්ජාවකින් තොරව ‘ගැහැනු ළමුන්ගේ දිනය’ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදි පැවැත්වූයේ ශිරන්ති රාජපක්ෂ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී කර ගනිමිනි. එහිදී ඇය කියා සිටියේ ‘‘විශ්වයේ පැවැත්මට උරදෙන මවුවරුන් ලෙස අනාගතයේ අබිසෙස් ලබන ගැහැනු දරුවා සුරැකීමට මුළුමහත් සමාජයේම අවධානය යොමු විය යුතුයි.’’ යනුවෙනි.

මුළුමහත් සමාජයේ අවධානය යොමු කිරීමට රටේ පළමුවෙනි කාන්තාව වූ ඇගේ අවධානය හෝ දැරියන් වෙනුවෙන් යොමුවී නොතිබීම අවාසනාවකි. දැරියන් සුරැකීමට සමාජයේ අවධානය යොමුකරන ලෙස පවසන විට ඇයට දේශපාලකයන් විසින් දූෂණයට ලක්කළ දැරියන්ගේ කඳුළු පෙනුණේ නැත. එම අහිංසක දැරියන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය පවා දේශපාලන බලපුළුවන්කාරකම් අභියස අහිමිවී ගොස් ඇති ආකාරය ඇය දුටුවේ නැත.

ගැහැනු ළමුන්ගේ දිනය සැමරීමේ සැණකෙළියේදීම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියැද්ද විසින්ද තවත් විහිළු කතාවක් කීවේය. ඔහු කීවේ ගැහැනු දරුවන් මුහුණදෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය නීතිමය පියවර හා විධිමත් පියවර ගන්නා බවත් ඒ වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරන බවත්ය.

විෂයභාර අමාත්‍යවරයාගේ ඇපකැපවී කටයුතු කිරීමේ තරම මේ රටේ ජනතාවෝ දනිති. ඔහු ගැහැනු දරුවන්ගේ ගැටලු විසඳීමට ඇපකැපවී කටයුතු කළේ නම් අකුරැස්ස ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාගේ පාදඩ ක‍්‍රියාවට ගොදුරුවූ දැරියට යළිත් නීතිය ඉදිරියේ අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම ඉල්ලා සටන් වැදීමට සිදුනොවනු ඇත.

 එසේම තංගල්ල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත‍්‍රී අංජන ලියනගේට 14 හැවිරිදි දැරියක් දින ගණනාවක් තිස්සේ ලැගුම්හලක රඳවා ගනිමින් දූෂණයට ලක්කිරීමට ඉඩ නොලැබෙනු ඇත. නමුත් විෂයභාර අමාත්‍යවරයාට තම පක්ෂයේම සහචරයන් දැරියන් දූෂණය කරන විට එම කටයුත්ත හෝ වැළැක්වීමට ඇප කැපවී ක‍්‍රියා කිරීමට නොහැකිවිය.

ස්ත‍්‍රී දූෂකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල නායකයන් රොත්තක් රට පාලනය කරන විට කුඩා දියණියන්ව අකාලයේ මිලිනවීයාම වැළැක්විය නොහැකිය. රටේ දැරියන් රැකගැනීමේ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට නංවනු වෙනුවට පාලකයන් සිදුකරන්නේ ස්ත‍්‍රී දූෂකයන් රැකගැනීමේ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට නැංවීමයි. ස්ත‍්‍රී දූෂකයන් රැකගැනීමේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට සමස්ත සමාජයම විරුද්ධ විය යුතුව ඇත. නමුත් අද එවැන්නක් කිරීමට ඉදිරිපත් වන්නේ රටේ ජනතාවගෙන් අතළොස්සක් පමණි.

ජාතිවාදය හා ආගම්වාදය කරපින්නාගත් ආගමික කල්ලි මේ රටේ දැරියන්ව පාදඩ දේශපාලකයන්ගේ ගොදුරු බවට පත්වෙද්දී ඒවාට විරුද්ධව හඬ නගන්නට ඉදිරිපත් වන්නේද නැත. ඒ වටා ගොනුවූ සිවිල් ජනතාවෝ ද නිහඬය. නමුත් හෙට දවසේ මේ පාදඩ දේශපාලකයන් විසින් අපේ දියණියද අපේ නැගණියද මෙයාකාරයෙන්ම ගොදුරුකර ගනු ඇත. එබැවින් දැරියන් කෙලෙසා දමන පාදඩ දේශපාලනඥයන් සමාජයෙන් පිටුවහල් කිරීමේ කටයුත්තට වහා මෙරට ජනතාවන් ඒකරාශී විය යුතුව ඇත.

-( ලංකා ඉරිදා සංග්‍රහය)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos