මින්ද සිල්වා... යනු පසුගිය කාලය පුරාම මෙරට දේශපාලන කරළියෙහි විවාද සම්පන්න චරිතයක්. හොඳ මෙන්ම නරකද ඇති පමණින් කියෑවෙන චරිතයක් වන දුමින්ද ඉතා කෙටි කාලයක් තුළ දේශපාලනයෙහි හිනිපෙත්තටම නැගි තරුණ චරිතයක් බව කීම නිවැරැදිය. දුමින්ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගැන කතාබහ කරද්දී ඒ කියෑවෙන හැම කාරණයක් ගැනම ඔහුගෙන් විමසා සිටියෙමු. මේ ඔහු දුන් පිළිතුරුයි.
ඔබට සිදුවූ මාරාන්තික තුවාලයන්හි වත්මන් තත්ත්වය කෙසේද?
මට වෙඩි වැදුන මොහොතේ ඉදලා කොළඹ දිස්‌ත්‍රික්‌කයේ දහස් ගණනක් අහිංසක අසරණ ජනතාව බෝධි පූජා පවත්වමින්, පල්ලිවල, කෝවිල්වල ආගමික වතාවත් සිදුකරමින් මට ඉක්‌මන් සුවය ප්‍රාර්ථනා කරලා තිරීබා. ඒ, අහිංසක මිනිසුන්ගේ ආශිර්වාදය නිසා තමයි හාස්‌කමකින් වගේ මට ආපසු ජීවත්වෙන්න වාසනාව ලැබුණේ. මේ රටේ අහිංසක අසරණ මිනිසුන්ගේ ආශිර්වාදයෙන් නැවත ඒ අයට සේවය කරන්න පුළුවන් වෙන විදිහට මේ වනවිට ඒ මාරාන්තික තුවාල සුවවෙලා තියෙන්නේ.
මෙරට වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඔබගේ අදහස?
මේ තමයි ලංකාවේ දේශපාලනයේ ස්‌වර්ණමය යුගය. ජනාධිපතිවරුන් ගණනාවකට විසඳන්න බැරිවුණ අවුරුදු 30 ක ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමන්න අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමාට පුළුවන් වුණා. නිදහසේ හුස්‌ම ගන්න පුළුවන් රටක් එතුමා අපිට ලබාදීලා තියෙනවා. රටේ අස්‌සක් මුල්ලක් නෑර සංවර්ධනය වෙනවා. තව වෙන මොනවද?
එජාපයෙන් දේශපානයට පිවිසි ඔබ ආණ්‌ඩුව සමඟ එක්‌වූයේ ඔබගේ සෙහොයුරාගේ ව්‍යාපාර වෙනුවෙන් සහ ඔබලාගේ දේපොළ බේරාගැනීම සඳහායි කියලා කියවුණා.
කොහෙත්ම නැහැ. බේරගන්න මගේ සොහොයුරාගේ දේපළ කොහේවත් හිරවෙලා තිබුණේ නැහැ. මම එක්‌සත් ජාතික පක්‌ෂයෙන් සන්ධානයට ආවේ ඒ වෙලාවේ රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම තීරණය ඒක නිසා. මම හැමදාම ජනතාවත් එක්‌ක ඉන්න දේශපාලනඥයෙක්.ජනතාවට සේවය කරන්න පුළුවන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමා යටතේයි කියන හැඟීම, විශ්වාසය මතයි ඒ තීරණය ගත්තේ. ඒ ගත්ත තීරණය ඉතාම නිවැරදි තීරණයක් කියන එකත් අද ඔප්පුවෙලා තියෙනවා. අනෙක මගේ අවුරුදු 10 ක දේශපාලන ජීවිතේ අවුරුදු 7 ක්‌ම ගෙවිලා තියෙන්නේ සන්ධානෙත් එක්‌ක. මම මැතිවරණ 3 කට මුහුණ දීලා ඒ හැම මැතිවරණයකින්ම වැඩිම මනාප අරන් ජයග්‍රහණය කළා. ඒ මැතිවරණ තුනෙන් දෙකක්‌ම ජයග්‍රහණය කළේ සන්ධානයේ මන්ත්‍රීවරයෙක් විදිහට. 2009 පළාත් සභා මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඉදිරිපත් වෙලා කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පළවෙනියා හැටියට මනාප ඡන්ද එක්‌ලක්‌ෂ හැටපන්දහස් එකසිය විසි අටක් ලබාගත්තා. ඒ වගේම 2010 දී එක්‌සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මහ මැතිවරණයට තරග කරලා කැබිනට් ඇමතිවරුන් ගණනාවක් අභිබවමින් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ වැඩිම මනාප ලාභියා හැටියට මනාප එක්‌ලක්‌ෂ හතලිස් හයදහස් තුන්සිය තිස් හයක් ලබාගත්තා. ඒ නිසා එක්‌සත් ජාතික පක්‌ෂය තුළ මගේ ඉතිහාසය ගැන අහන එක වැරදියි නේද?
වත්මන් දේශපාලනය තුළ තිබෙන ප්‍රචන්ඩත්වය පිළිබඳ ඔබේ අදහස?
සියලු ආකාරයේ ප්‍රචන්ඩත්වය මම ප්‍රතික්‌ෂේප කරනවා. කිසිම දිනක ප්‍රචන්ඩත්වයෙන් කිසිවක් දිනාගන්නවත්, ලබාගන්නවත් බැහැ.
භාරත ඝාතනය සම්බන්ධව ඔබටයි ඇඟිල්ල දික්‌වුණේ.
ඔය කාරණය උසාවිය ඉදිරියේ තියෙන්නේ. මේ රටේ නීතියට ගරු කරන, නීතිය විශ්වාස කරන පුද්ගලයෙක් හැටියට මම ඔය කාරණය ගැන කථා කරන්න කැමති නැහැ. ඒක අධිකරණය තීන්දු කරයි.බලන්න ජනාධිපතිතුමාට කොච්චර විවේචන, මඩ ප්‍රහාර එල්ල වෙනවද කියල, නමුත් එතුමා ඒ කිසිවකින්වත් නොසැලී, ජනතාව වෙනුවෙන් සේවය කරනවා.මං ඒ ජීවන චරිතය දිහා බලාගෙන ඒ චරිත ආදර්ශයට අරගෙන තමා මගේ දේශපාලන ගමන යන්නේ. අර ධම්ම පදයේ කියවෙන්නේ “ ගල් පර්වත සුළඟින් නොසැලෙන්නේ යම්සේද - එසේම නුවණැත්තෝ නිඟා, පැසසුම් හි නොසැලෙත්.“ කියලා. මං ජීවත්වෙන්නේ ඒ විදිහට.
කොළොන්නාව කේන්ද්‍ර කරගනිමින් ඔබ කුඩු බිස්‌නස් කරනවා කියලා ප්‍රසිද්ධ චෝදනාවක් තිබෙනවා.
ඒ ප්‍රශ්නය අහපු එක හොඳයි. මනාප පොරයට වැටිච්ච අපේ පක්‌ෂයේම දේශපාලනඥයෝම තමයි ඔය කතා පතුරුවන්නේ. මගේ දේශපාලනය තියෙන්නේ අහිංසක අසරණ ජනතාවත් එක්‌ක. මම තමයි කොළඹ නගරයේ වතු ආශ්‍රිතව ජීවත්වන වගේම කොළඹ දිස්‌ත්‍රික්‌කයේම අහිංසක අසරණ ජනතාව සමග රැයක් දවාලක් නොබලා ඡන්ද ගැන හිතන්නේ නැතුව කටයුතු කරන එකම මන්ත්‍රීවරයා. මම හැමවිටම උත්සාහ කරන්නේ මේ අහිංසක මිනිස්‌සුන්ගේ ආර්ථික, සමාජීය ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න. හැබැයි උසස් යෑයි කියාගන්න ඒ සී කාමරවල ජීවත්වන සමහර උදවිය කොළඹ නගරයේ මේ අහිංසක මිනිස්‌සු ජීවත්වන වතුවලට කියන්නේ කොරියාව කියලා. වතුවල ජීවත්වෙන දුප්පත් තරුණයින්ට කියන්නේ කුඩුකාරයෝ කියලා. ඉතින් මේ දුප්පත් අහිංසක මිනිස්‌සුන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න යනකොට ඔය උසස් යෑයි කියාගන්න අය තමයි මට අවලාද නගන්නේ. ඕවා පිටිපස්‌සේ ඉන්නේ අපේම පක්‌ෂේ අය. හැබැයි ඔය දේවල්වලින් මාව වට්‌ටන්න බැහැ. මේ අහිංසක මිනිස්‌සු ජීවත්වන වතුවලට කොරියාව කියන, දුප්පත්කම නිසා මිනිස්‌සුන්ට කුඩු කාරයෝ කියන අයව මම තරයේ හෙළා දකිනවා. ඡන්ද ළං වෙනකොට දේශපාලනඥයෝ රොතු පිටින් මේ මිනිස්‌සු අතරට එනවා. හැබැයි ඡන්දෙන් පස්‌සේ කවුරුත් නැහැ. මම හැමදාම ඉන්නේ මේ මිනිස්‌සුත් එක්‌ක. ඒ නිසා මට ඡන්දවලට අලුතින් ලෑස්‌තිවෙන්න දෙයක් නැහැ.
මේ අහිංසක මිනිස්‌සුන්ට උදව් කරන එක මගේ පුංචි කාලේ ඉදලා තිබුණ පුරුද්දක්. ඒක මම එදත් කළා. අදත් කරනවා. හෙටත් කරනවා. අනෙක මට කුඩුවලින් සල්ලි හොයන්න ඕනකමක් නැහැ. මගේ තාත්තා මේ රටේ පිළිගත් ආයතන ගණනාවක කළමනාකාර අධ්‍යක්‌ෂවරයෙක්. තවත් ආයතන කිහිපයක අධ්‍යක්‌ෂවරයෙක්. ඔහු වරලත් ගණකාධිකාරීවරයෙක්. මගේ එක සහෝදරයෙක් මේ රටේ විශාලතම මාධ්‍ය ආයතනයේ හිමිකරුවා. තව සහෝදරයෙක් මේ රටේ ඇඟළුම් කර්මාන්තයෙන් වැඩිම විදේශ විනිමය ගේන සමාගම් දහයෙන් එකක් මෙහෙයවන්නා. අවුරුද්දට ඩොලර් මිලියන 400 කට වඩා විදේශ විනිමය ඔහු මේ රටට ගේනවා. මගේ එක නංගි කෙනෙක් ඕස්‌ටේ්‍රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගත්ත කෙනෙක්. මගේ බාල නංගි විවාහ වෙලා ඉන්නේ වෙලෝනා කර්මාන්තශාලාවේ හිමිකරුවා සම`ග. වෙලෝනා නිර්මාතෘ, එහි අධිපති මොරටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රස්‌කින් ප්‍රනාන්දු මහතා, ඔහුගේ සීයා. ඒ වගේම සොයිසා මාතෘ රෝහල, ඇස්‌වාට්‌ටුව, ලුණාව, මාරවිල, පානදුර ඉස්‌පිරිතාල, මොරටුව ස්‌ටේඩියම් එක, ප්‍රින්ස් හා ප්‍රින්සස් වේල්ස් විදුහල් පරිත්‍යාග කරපු සර් හෙන්රි චාල්ස් ද සොයිසා ඔහුගේ සීයාගේ පියා. ඒ වගේම මගේ තාත්තාගේ පියා ඒ, වික්‌ටර් සිල්වා, කවුරුත් හැඳින්වූයේ වික්‌ටොරි මුදලාලි කියලා. ඔහු කළුතර කළුමුල්ල ගමේ පොල්, රබර්, කුරුඳු අක්‌කර විශාල ප්‍රමාණයක හිමිකරුවෙක්. මගේ මවගේ පියා ලුෂන් හැරී උක්‌වත්ත ලියනගේ. ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු දෙවන ලෝක යුද්ධ සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ මිල්ටරි පොලීසියට අනුයුක්‌තව සිංගප්පූරුවේ රාජකාරි කළා. ඔහුගේ පියා මාතර - උක්‌වත්ත වලව්වෙන් පැවතෙන කෙනෙක්. ඔහුගේ සොහොයුරා තමයි තමන්ගේ ඉඩකඩම් සියල්ලම පන්සලටත්, රාහුල විද්‍යාලයටත් දන්දුන්න ගාල්ල - මන්තින්ද පිරිවෙන් විහාරස්‌ථානයේ වැඩවිසූ අපවත්වී වදාළ අතිපූජනීය අත්තදස්‌සි ස්‌වාමීන් වහන්සේ. මගේ මව ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ආණ්‌ඩුකාරවරයෙක් වූ සර් ඔලිවර් ගුණතිලක මහතාට අතිශය සමීප ඥාති සම්බන්ධතාවයක් දක්‌වන ඔහුගේ පරම්පරාවේ කෙනෙක්. කුඩු සල්ලි කියනකොට මට හිනාත් යනවා. මේ හැම බොරු චෝදනාවකටම, මඩ ප්‍රචාරයකටම මුල්වෙලා තියෙන්නේ මනාප ප්‍රශ්නය.
කොහොම වෙතත් වනාතමුල්ලේදී ඔබට හූ කිව්වා. ජනතාව ඔබ ප්‍රතික්‌ෂේප කරන බවයි දැන් පෙනී යන්නේ.
ඔබතුමා දැන් එන්න මාත් එක්‌ක යන්න වනාතමුල්ලට. ඒ ජනතාව මාව ප්‍රතික්‌ෂේප කරනවාද කියලා බලන්න. එදා ඔය සිද්ධිය පිටිපස්‌සේ හිටියේ ජනතා විමුක්‌ති පෙරමුණේ සහ එක්‌සත් ජාතික පක්‌ෂයේ ඔවුන් තමයි ජනතාව උසිගන්වලා පාරට බැස්‌සුවේ. මට හූ කිව්වේ වනාතමුල්ලේ ජනතාව නෙමෙයි. ඒ පක්‌ෂවල හෙන්චයියෝ. ඔය සිද්ධියෙන් පස්‌සේ වනාතමුල්ලේ ජනතාව වැලනොකැඩී ඇවිත් මගෙන් සමාව ගත්තා. මට සම්පූර්ණ ඇත්ත කිව්වා. ඔවුන් මගෙන් ඉල්ලුවේ ඒ සිද්ධිය නිසා ඔවුන්ව අමතක කරන්න එපා කියලා. මම ඒ අයට කියලා දුන්නා ඔය ප්‍රශ්නවලින් කලබල වෙන්න එපා. ඕක තමයි දේශපාලනය කියන්නේ කියලා.
ඔබ දේශපාලනයෙන් ජනතාවට මොනවාද කළේ.
මම කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ජනතාවගේ වැඩිම කැමැත්ත දිනපු ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. මම මොකුත් නොකළා නම් මිනිස්‌සු මට එක්‌ලක්‌ෂ හැටපන්දාහක් මනාප දෙයිද? මුළු කොළඹ දිස්‌ත්‍රික්‌කයේම ඕනම තැනක බාල, මහළු, තරුණ ඕන කෙනෙකුගෙන් ඇහුවොත් මම ඔවුන්ට කරලා තියෙන දේවල් ගැන කියයි. ඔබ දන්නවාද, ඔය කොළඹ වතු නිවාස හැම එකක්‌ම වගේ වැස්‌සට හොඳටම තෙමෙනවා කියලා. වැස්‌ස දවස්‌වලට ඒ මිනිස්‌සු නිදාගන්නේ ෂිෆ්ට් එකට. සමහරුන්ට කෙලින් හිටගෙනත් නිදාගන්න සිද්ධ වෙනවා. තුන්සිය දෙනෙකුට විතර තියෙන්නේ එක වැසිකිලියයි. සමහර ගෙවල් මැද්දෙන් අසූචි කාණු ගලාගෙන යනවා. සමහර ගෙවල් පොඩි වැස්‌සටත් සම්පූර්ණයෙන්ම යටවෙනවා. මේ මිනිස්‌සුන්ගේ දරුවෝ නිතරම ලෙඩින් ඉන්නේ.
ඒ ගොඩක් අයට වෙලාවට බෙහෙත් ටිකක් ගන්නවත් සල්ලි නැහැ. රුපියල් 50 කින් දවස ගෙවන මිනිස්‌සු කොළඹ ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවාද? මං ඉන්නේ අන්න ඒ මිනිස්‌සුත් එක්‌ක. මං උත්සාහ කරන්නේ ඒ අහිංසක අසරණ මිනිස්‌සුන්ට හොඳ ජීවන තත්ත්වයක්, හොඳ ආර්ථික තත්ත්වයක් උදාකරලා දෙන්න. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ආරක්‌ෂක ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් කොළඹ ජනතාවට තට්‌ටු නිවාස ලබාදෙන වැඩපිළිවෙල ඇති කරේ. ජනතාවාදී නායකයෙක් ලෙස අතිගරු ජනාධිපතිතුමා මේ අහිංසක මිනිස්‌සුන්ගේ ප්‍රශ්න තේරුම් ගත්තා. ඒ නිසා තමයි මේ ජනතාවට සියලුම පහසුකම්වලින් යුත් තට්‌ටු නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න එතුමා තීරණය කළේ. හැමදාමත් මේ අසරණ මිනිස්‌සුත් එක්‌ක ඉන්න මන්ත්‍රීවරයෙක් නිසා තමයි ගරු ආරක්‌ෂක ලේකම්තුමත් මේ කටයුත්තට මූලිකත්වය දෙන්න මාව තෝරගත්තේ. මේ වැඩපිළිවෙල සාර්ථක වුණොත් විපක්‌ෂයට කොළඹින් එක ඡන්දයක්‌වත් ලැබෙන්නේ නැහැ කියන එක දැනගත්ත විපක්‌ෂය මේ ජනතාව නොමග යවන්න උත්සාහ කරනවා.
කැසිනෝ පනතට ඔබත් පක්‌ෂව ඡන්දය භාවිතා කළා නේද?
මෙහි කැසිනෝවක් හදන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඉතින් මොකටද කවුරුත් කළබල වෙන්නේ.
රජයේ ඇමැතිවරු පවා මේ පනතට විරුද්ධ වුණා නේද?
කිසිම ශ්‍රී ලාංකිකයෙකුට මේවාට ඇතුල්වෙන්න බැරිනම් කොහොමද මේ විපක්‌ෂය කියන විදිහට අපේ තරුණියෝ ඒවායේ ගණිකාවෝ වෙන්නේ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක මේ විපක්‌ෂය විසින් මවාපාන බොරුවක් විතරයි. හැබැයි රට පුරාම රේස් බයි රේස් තියෙනවා. අපේ අහිංසක අම්මලා, සහෝදරියෝ කීදෙනෙක් නම් මේවා නිසා දුක් විඳිනවාද? ඒත් ඒ ගැන කවුරුවත් කථා කරන්නේ නැහැ. විපක්‌ෂය අද දුක්‌වෙන්නේ සුද්දෝ කැසිනෝ ගහන එක ගැන. අපේ විපක්‌ෂයට රට පුරාම පැතිරිලා ඉන්න අහිංසකයින්ව විනාශ කරන රේස් බයි රේස් බිල්ලව පේන්නේ නැහැ. බොරු බිල්ලෙක් මවාපානවා.
අකිත පෙරේරා (දිවයින )


