තමන්ව මරා දමන්නට පාතාල ලෝකයට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි මංගල සමරවීර 24 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය. ළඟඳීම පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට පෙර මෙසේ තමන් මරා දමන්නට සැලසුම් කර ඇතැයිද ඔහු කීවේය.
මෙම ඝාතන කුමන්ත්‍රණය ගැන සියලු තොරතුරු මේ වන විටත් රාජ්‍ය බුද්ධි අංශයට වාර්තා වී ඇතැයි තමන් විශ්වාස කරන බව මංගල සමරවීර කියද්දී ඔහුගේ කතාවට කථානායක චමල් රාජපක්ෂ විරෝධය පළ කළේය. මන්ත්‍රී වරප්‍රසාද යටතේ මෙවැනි ප්‍රකාශයන් කළ නොහැකි බවද කථානායකවරයා ප්‍රකාශ කරද්දී මංගල සමරවීර කියා ගෙන යන්නට වූයේ ‘කොට ගාමිණී’ සහ ‘චක්කුවා’ යන දෙදෙනාට තමන් ඝෘතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබෙන බව දැනගන්නට ලැබි තිබෙන බවයි.
පාර්ලිමේන්තුවේ හා සමාජය තුළ පමණක් නොව, බන්ධනාගාර තුළත් මේ ගැන දැන් නැගෙන කසුකුසුව සුළුපටු නොවේ.
දිවයිනේ බන්ධනාගාර තුළ සිරගත වී හා රිමාන්ඩ් භාරයට පත් වී සිටින පාතාල ලෝකයට සම්බන්ධ බොහෝ දෙනා ‘චක්කුවා’ සහ ‘කොට ගාමිණී’ කොහේදැයි සොයමින් සිටින බවද අපට දැනගන්නට ලැබිණ.
'චක්කුවා' නමින් ප්‍රසිද්ධ පුද්ගලයෙක් තමන් නොදන්නා බව බන්ධනාගාරයේ විශ්වාසවන්ත ආරංචි මාර්ග කීපයක් අප සමග පැවසීය. ‘සමහර වෙලාවට ඌට වෙන නමක් ඇති. චක්කුවා කියලා එකෙක් බන්ධනාගාරවල හිටිය බවක් මට නම් මතක නෑ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය. එහෙත් ‘කොට ගාමිණී’ ගැන නම් බොහෝ දේ බන්ධනාගාරවල ලියැවී තිබේ.
මංගල සමරවීර ‘කොට ගාමිණී’ ගැන පාර්ලිමේන්තුවේ කතා කරමින් දැවැන්ත ප්‍රසිද්ධියක් ඔහුට ලබා දුන්නත් බන්ධනාගාරය ‘කොට ගාමිණී’ දකින්නේ 'කයිතාන්ඩුවෙක්' හැටියටය. 'කයිතාන්ඩුවා' යනු කිසිම ගතියක් නැති ‘පෙන්දෙකි’. කරුමෙට හිරේ ගියා මිස 'ගේම්කාරයෙකු’ යයි විශ්වාස නොකෙරන්නෙකි. සිර ගෙවල් තුළ ‘කයිතාන්ඩුවා’ හඳුන්වන්නේ ඒ ආකාරයෙනි. අඩි 4 යි අඟල් 6 ක් උස, හැඩිදැඩි ඇඟපතක් නැති සෝමාරි පෙනුමකින් යුක්ත ‘කොටගාමිණී’ නමැති පුද්ගලයා පළමු වරට ජන සමාජය හඳුනා ගත්තේ 1996 මාර්තු 17 දින දහවල් කාලයේ දී වැලිකඩ බන්ධනාගාරයේදීය.
එතෙක් ‘කොට ගාමිණී’ අප්‍රසිද්ධ පුද්ගලයෙකු බව පැවසේ. ලෝක ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාව දිනාගත්තේ මෙදින රාත්‍රියේ දීය. එදින දහවල් වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරියෙකුට එරෙහිව ‘කොට ගාමිණී’ පැමිණිල්ලක් කළේය. ඒ එම නිලධාරියා තමන්ගෙන් රුපියල් 500 ක් ඉල්ලා තර්ජනය කළ බවක් පවසමිනි. මේ පැමිණිල්ල ගැන දැන ගන්න ලැබුණ එම නිලධාරියා කෝපාවිෂ්ඨ විය. ‘කොට ගාමිණි’ සොයා ගොස් ඔහු අල්ලාගත් එම නිලධාරියා අතින් පයින් සංග්‍රහයක් ලබා දුන් බව පැවසේ.
‘කොට ගාමිණී’ නාහයෙන් කටින් ලේ පෙරාගෙන ඇද වැටෙන තුරු නිලධාරියා පහර දුන් බවද සඳහන්ය. අනතුරුව මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසට එම නිලධාරියා බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයෙන් ලිඛිත ඉල්ලීමක් කළේය.
මෙම සිද්ධියට පසුදින පුවත්පත්වලින් මහා ප්‍රසිද්ධියක් ලැබිණ. ‘කොට ගාමිණී’ නැමැත්තා මතු වූයේ එතැනින්ය.
බන්ධනාගාර නිලධාරියා රුපියල් 500 ක් ලබා නොගත් බව පරීක්ෂණවලදී අනාවරණය වූවා පමණක් නොව, ‘කොටගාමිණී’ බොරුකාරයෙකු ලෙසද හැඳින්විණි. එබැවින් දවස් හතක් කළුවර කාමරේ දමා වසා තබන්නට බන්ධනාගාර අධිකාරිය තීරණය කළේය. එවකට වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා වූයේ ඩී.එස්. රණසිංහය. ඔහු පසුව වැලිකඩ බන්ධනාගාර අධිකාරී ලෙස විශ්‍රාම ලැබූ අතර සිද්ධිය වන අවස්ථාවේ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා වූයේ පී.ඒ. හර්බට් මහතාය.
මේ සිදුවීම්වලින් පසු ‘කොට ගාමිණි’ යළි මතුවන්නේ වත්තල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබිමක් සමගිනි. මෙම වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් මිය ගිය අතර කොට ගාමිණිගේ, ගිනි අවි අතගෑමේ ආශාව වඩාත් ඉහළ යන්නට පටන් ගත්තේ එම සිද්ධියෙන් අනතුරුවය. ‘කොට ගාමිණී’ගේ එම ආශාව ඉටු වන්නට වූයේ, වත්තල පාතාල ලෝකයෙන් බිහි වී මුළු කොළඹම තම අණසකට යටත් කරගන්නට උත්සහ කරමින් සිටි ‘කිඹුලා ඇලේ ගුනා’ගේ සෙවන යටතට පත් වීමත් සමගය.
වත්තල වෙඩි තැබිම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ ‘කොට ගාමිණී’ මහර බන්ධනාගාරයේ සිරගත කෙරිණ. එහිදී සිරකරුවන් පිරිසක් එකතු වී ක්‍රිකට් පිති වලින් පහර දී ‘කොට ගාමිණී’ මරා දමන්නට උත්සහ ගත් බවද කියැවිණි. බරපතළ ලෙස පහරකමින් සිටි ‘කොට ගාමිණී’ එදින බේරා ගත්තේ ඊට කලකට පෙර රුපියල් 500 ක් පගාව ගත්තා යනුවෙන් චෝදනා ලද
නිලධාරියාමය. එදින එම නිලධාරියා සෙසු සිරකරුවන්ගෙන් ‘කොට ගාමිණී’ බේරා නොගන්නට ඔහු මරු තුරුලට යන්නට බොහෝ ඉඩ තිබිණි.
වත්තල දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා පිටතට පැමිණි ‘කොට ගාමිණී’ හිටිහැටියේ අතුරුදන් විය. එදායින් පසු ඔහු ගැන කිසිම ආරංචියක් නොවීය. ඉකුත් බ්‍රහස්පතින්දා මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී ‘කොට ගාමිණී’ ගැන පවසන තුරු ඔහු ගැන කිසිම පුවතක් මාධ්‍ය හරහා වාර්තා වූයේ නැත.
මීගමුව බන්ධනාගාරයේ සිටින, දේශපාලනඥයන්ගේ ගෝල බාලයන් නම් කියන්නේ ‘කොට ගාමිණී’ ඩුබායිවල සිටින බවයි. නමුත් වැලිකඩ බන්ධනාගාරයේ සිටින පාතාල ලෝකයේ පුද්ගලයන් පවසන්නේ ‘කොට ගාමිණී’ ‘කිඹුලා ඇළේ ගුනා’ද සමග ඉන්දියාවේ සිරගෙදරකට කොටු වී සිටින බවයි.
කෙසේ වෙතත් ඒ ‘කොට ගාමිණී’ මංගල සමරවීර කියන මේ ‘කොට ගාමිණි’ ම දැයි සිරගෙදර පාතාලය සැක පහළ කරයි. ගේමක් දෙකක් දීලා රිමාන්ඩ් වන ගාමිණීලා ඉන්නවා. ඒ අතරේ කොට උනුත් ඉන්නවා. කොට ගාමිණී කියන්නේ එහෙම ගෝතයෙකුටද දන්නෙත් නෑ.. බන්ධනාගාරයේ සිටින පාතාලය පවසයි.
(ලක්බිම -අනුර හොරේෂස්)