ඊයේ දිනයේ විවෘත කරන ලද කොළඹ-කටුනායක නව අධිවේගී මාර්ගයට ඇතුළුවීමේදී හා පිටවීමේදී දක්ෂිණ අධිවේගී මාර්ගයට වඩා වෙනස්කම් කිහිපයක් කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මෙහි අන්තර් පිවිසුම් ස්ථාන වන්නේ නව කැලණි පාලම, පෑලියගොඩ, ජාඇළ හා කටුනායක යි.
ඒ අනුව නව කැලණි පාලම දෙසින් ඇතුළුවන වාහනවලට කෙලින්ම කටුනායක දක්වා ගමන් කිරීමට අවස්ථාව සලසා ඇති අතර මුදල් ගෙවීම එහිදී සිදු කළ හැකි බව ද, පෑලියගොඩ අන්තර් පිවිසුම් ස්ථානයෙන් ඇතුළුවන වාහනවලට කාඞ්පතක් නිකුත් කර ඇතැයි ද, මුදල් ගෙවන ස්ථානයේදී කාඞ්පත භාරදිය හැකි බව ද අධිකාරිය කියයි.
කටුනායක දෙසින් පිවිස කොළඹ දක්වා පැමිණෙන වාහනවලට පෑලියගොඩ අන්තර් පිවිසුම් ස්ථානය තෙක් කෙලින්ම ගමන් කළ හැකි වන අතර මුදල් ගෙවීම සිදු කළ හැක්කේ එහිදීය.
මාර්ගයේ දිනකට අවම වශයෙන් වාහන 15,000ක් පමණ ධාවනය කෙරෙනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වන අතර මෙහි උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර් 100කි.