රටේ තරුණ පරම්පරාවට රැකියා ලබාදෙනු ඇතැයි කිසිම බලාපොරොත්තුවක් තියාගැනීමට නොහැකි රාජපක්ෂ රෙජිමය නැවත බලයට පත් කිරීමට ඡන්දය ලබා නොදිය යුතු යැයි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මඩගල්ල ගල්ටැංවැවේදී පැවති එ.ජා.ප. මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමකදී ප‍්‍රශ්න කළේය.
යුද ජයග‍්‍රහණයෙන් වසර පහක් ගතවී තිබියදීත් ලබාදීමට බැරිවූ රැකියා, තවත් පරම්පරා පහක් ගතවුවද ලබා දීමට සන්ධාන ආණ්ඩුවට නොහැකි වන බවද වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,
‘මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂට බලය දුන්නේ බන්දේසියක තියලයි. මහින්ද රාජපක්ෂ බලයට ආවට පස්සේ කීවා මම ජනාධිපති වුණාම රට සංවර්ධනය කරනවා. රැකියා බිහි කරලා දෙනවා කියලා. ඊට පස්සේ අපිට බලය මදි. පාර්ලිමේන්තුවත් ඕනෑ කියලා ඒකත් ඇදලා ගත්තා. තුනෙන් දෙකක බලයකුත් එක්ක.
දැන් මේ විදිහට බලය අරගෙන අවුරුදු පහක් ගිහිල්ලා තියෙනවා. දැන් ආපහු එනවා ඡන්දය ඉල්ලන්න. මොකක්ද එයා අවුරුදු පහේදී කළේ.
තරුණයා බලාපොරොත්තු වෙන්නේ යුද්ධයෙන් පස්සේ රස්සාවක් ලැබෙයි කියලයි. සමහරු කරන්න දෙයක් නැති වුණාම හමුදාවට බැදුණා. අනෙක් අය බැලූවේ හොද රස්සාවක් ගන්නයි.
යුද්ධය ඉවර වුණාම ආයෝජකයෝ ගෙනැල්ලා විශාල සංවර්ධනයක් කරනවා කියලා තමයි කීවේ. තරුණයෙකුට ජීවත් වෙන්න රැකියාවක් අවශ්‍යයයි. අඩුම ගානේ තමන්ගේ ජංගම දුරකථනයට රීලෝඞ් එකක් දාගන්න හරි සල්ලි ටිකක් ඕනනේ. ආදායමක් නැති වුණාම රීලෝඞ් එකක්වත් දාගන්න බැහැ.ටී ෂර්ට් එකක් ගන්න,බ්ලවුස් එකක් ගන්න, කලිසමක් ගන්න සල්ලි අවශ්‍යයයි.
සමහර කලිසම් වල සාක්කු ගණනාවක් තියෙනවා.සාක්කු ඔක්කොම ටික තියා එක සාක්කුවක්වත් පුරවා ගන්න අද තරුණයෝ අතේ සල්ලි නැහැ. ඔන්න මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ හැටි.
හැබැයි මම බලයට ආවම ඔය සාක්කු ටික ඔක්කොම පුරවලා දෙනවා. මම අහන්නේ මොනවද මහින්ද රාජපක්ෂ දුන්න රස්සා ටික.
රස්සාවක් නැතිව අද කොහොමද තරුණයෝ ජීවත් වෙන්නේ. තමන්ගේ ගැහැණු ළමයත් එක්ක කොහොමද ගමනක් යන්නේ. කොහොමද විවාහ වෙන්නේ. කොහොමද දරුවෙක් හදාගන්නේ. කොහොමද පොඩි මෝටර් බයිසිකලයක් ගන්නේ. මේ හැමදේම කරන්න නම් අතේ සල්ලි තියෙන්න ඕනෑ’ යැයි පැවසුවේය.