තමන් ප්‍රසව වේදනාව උහුලගන්න බැරිව කෑ ගසද්දී හෙදියෝ හිනා වෙමින් පත්තර බැලූවේ යයි රෝහල් වර්ජනය නිසා සැලකිල්ලක් නොලබා මිය ගිය දරුවාගේ මව පවසයි.
මෙසේ පැවසුවේ පසුගිය 26 වනදා දරු ප්‍රසූතිය සඳහා ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදිනම කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබූ අසාධ්‍ය වූ චමිලා චාන්දනී (29) නම් මවකි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇය මෙසේද කීවාය.
‘වේදනාව උහුල ගන්න බැරිම තැන මම ඉන්න අයගෙන් උදවු ඉල්ලලා කෑ ගැහැව්වා. එතකොට සුළු සේවිකාවක් (ඇටෙන්ඩන්) ඇවිත් මොකද තමුසේ කෑ ගහන්නේ මේ පෙනඩෝල් දෙක බීලා කෑ ගහන්නේ නැතිව නිදා ගන්නවා කියලා මට බැනලා පෙති දෙකක් දීලා ගියා. මම වැඳලා කිවුවා මට ගොඩක් අමාරුයි මාව දාලා යන්න එපා කියලා.
30 දා පාන්දර මට ගොඩක් අමාරු වුණා. කෑ ගහලා කිවුවා මාවයි මගේ දරුවායි බේර ගන්න කියලා. ඒත් කවුරුවත්ම ආවේ නෑ. පාන්දර 4.00 ට මම හිටපු ඇඳ උඩම මට මගේ පුතා ලැබුණා. ඒත් දොස්තරලාවත් නර්ස්ලාවත් සුළු සේවිකාවක්වත් ආවේ නෑ. දරුවා ලැබී විනාඩි 10 ට පමණ පසු සුළු සේවිකාව ඇවිත් දරුවා හම්බ වුණා නේද කියලා ළමයා මට පෙන්නලා අරගෙන ගියා. ඩොක්ටර් ආවේ පැයකට විතර පස්සේ. මම සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මට වුණ දේ තව කෙනෙකුට වෙන්න දෙන්න එපා. ගැබිණි වාට්ටු වලට විලි රුදාව දැනිලා තියෙන හිතක් පපුවක් මනුස්සකමත් තියෙන නර්ස්ලා සහ සුළු සේවිකාවෝ පමණක් දාන්න කියලයි’


