-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අපි කන බොන ආහාර සුපර් මාකට්ටුවට හෝ ගමේ ගොඩේ සිල්ලර කඩේට හෝ ගොඩවැදී මිලදී ගන්නට පෙර කල් ඉකුත් වන දිනය හා මිල ගණන් පරීක්ෂා කර බලන්නට පුරුදු වී සිටිමු. අප එම ආහාර මිල දී ගන්නේ ඒවායේ ඇසුරුමේ සඳහන් නිෂ්පාදිත සහ කල් ඉකුත් වීමේ දින ගැන පූර්ණ විශ්වාසයක් තබමිනි. නමුත් මේ වනවිට උද්ගත වී ඇත්තේ ආහාර ඇසුරුමේ සඳහන් නිෂ්පාදිත දින සහ කල් ඉකුත් වීමේ දින ගැන පූර්ණ විශ්වාසයක් තැබිය නොහැකි කාලයකි. ඒ වෙන කිසිවක් නිසා නොව කල් ඉකුත් වූ ආහාරවල ඇසුරුම් වෙනස් කොට, අලුතෙන් කල් ඉකුත් වීමේ දිනයන් යොදා පරණ ආහාර ද්‍රව්‍ය වෙළෙඳ‍පොළට නිකුත් කිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බැවිනි. ආහාර පමණක් නොව කල් ඉකුත් වූ බෙහෙත් වර්ග පවා මෙම මාෆියාකරුවෝ දින වෙනස් කොට  වෙළෙඳ‍පොළට දමති.
එසේ කල් ඉකුත් වූ බෙහෙත් තොගයක් දින වෙනස් කොට වෙළෙඳ‍පොළට නිකුත් කිරීමට සූදනම් කරමින් තිබුණු ගබඩා දෙකක් ද මෑතකදී පාරිභෝගික ආරක්ෂක අධිකාරියේ  විශේෂ වැටලීම් ඒකකයේ වැටලීමට හසුවිය.  මෙම ගබඩාවල තිබි සොයාගත්, වෙළෙඳ ‍පොළට නිකුත් කිරීමට සූදානමින් තිබුණු කල් ඉකුත් වූ ඖෂධවල වටිනාකම රුපියල් කෝටි 60කට ආසන්නය. බෙහෙත් වලට අමතරව රූපලාවන්‍ය ආ‍ලේපන, කායවර්ධන ක්‍රීඩකයන් භාවිත කරන අධි ‍පෝෂණ,  සම පැහැගන්වන ආ‍ලේපන ගොන්නක්ද විය. ඇමරිකාව ඉන්දියාව ආදී රටවලින් ආනයනය කර ඇති එම ඖෂධ බොහෝමයක්ම කල් ඉකුත් වී ඇත්තේ මෙයට  වසර තුන හතරකට පෙර වීම මෙහි ඇති බරපතලකම හා භයානකකම මොනවට පැහැදිලි කරන්නකි. 
එම ඖෂධ තොග නීතියේ රැහැනට හසුකර ගැනීමෙන් දින කිහිපයකට පසු පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වටලන්නේ කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයට යාබදව සීදූව ප්‍රදේශයේ පිහිටි ගබඩා සංකීර්ණයකි. එම ගබඩාව තුළ සිදුවෙමින් තිබුණේ දැනටමත් කල් ඉකුත් වූ චොකලට් තොගයක  කල් ඉකුත් වීමේ දිනය 2016 බව සඳහන්  ස්ටිකර් ඇලවීමය. ඉන්දියාවෙන් ආනයනය කර ඇති  එම චොකලට් ඉතා මිල අධික වර්ගයකි. එහි ඒ වන විටත් කිලෝ 40,000 ක චොකලට් පෙට්ටි ගොඩ ගසා තිබුණේය. වටිනාකම සඳහන් කළහොත් රුපියල් කෝටි 10 කට වැඩිය. 
කාලයක් තිස්සේ කරගෙන ගිය මෙම  ජාවාරම ගැන තොරතුරු ලැබි ඇත්තේ  පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ඒකකයේ ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතාටය. ඔහු ඇතුළු කණ්ඩායම එම ගබඩාව වටලන විටත් කාන්තාවක් ඇතුළු හය දෙනෙකු සිට ඇත්තේ ඉදිරි දින දැමූ ‍ලේබල් චොකලට්  ඇසුරුම්වල අලවමිනි. 



කල් ඉකුත් වූ සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ ලක්ෂ ගණනක්ද, ආනයනික පලතුරු වර්ගද, කරවල, ටින් මාළු ඇතුළු විවිධාකාර ආහාර ද්‍රව්‍යද පසුගිය කාලයේ පාරිභෝගික අධිකාරියේ වැටලීමට ලක් විය.
මේ තරම්  කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය තොග පිටින්  පාරිභෝගික අධිකාරියට හසුවන්නේ එවන් ආහාර නිදහසේ මෙරටට රැගෙන ඒමේ හැකියාවක් ඇති නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ ගැන  ශ්‍රී ලංකා රේගු  බලධාරීන් සඳහන් කරන්නේ එහි වගකීම ඇත්තේ තමන්ට නොව  සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර තත්ත්ව පාලකට බවය. ඒ අය ලබාදෙන වාර්තා පදනම් කරගෙන මිස ආහාර  සහ ඖෂධ වරායෙන් හෝ ගුවන් තොටුපළෙන් නිදහස් නොකරන බව රේගුවේ උසස්  නිලධාරියෙක් සඳහන් කළේය. එය එසේ වුවත් රේගුවටද ඒ ගැන යම් සොයා බැලීමක් කිරීමට වගකීමක් ඇති  බවද එම නිලධාරියා පැවැසුවේය.
ඖෂධයක් හෝ ආහාර ද්‍රව්‍යයක් මෙරටට ගෙන ඒමේදී එහි කල් ඉකුත් වීමේ දිනය එය රේගුවෙන් නිදහස් කරන  දිනයේ සිට  අවම වශයෙන් මාස 06 ක් වත් ඉදිරියට තිබිය යුතුය. නමුත් පසුගිය කාලයේ වැටලීම්වලදී අත්අඩංගුවට ගැනුණු ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය බොහොමයක්ම රට තුළට ගෙනැවිත් තිබුණේ කල් ඉකුත් වීමේ දින ඉකුත් වීමෙන්  පසුවය. ඒ ගැන විමසන්නට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ බලධාරීන්ට දින ගණනාවක්ම දුරකථන ඇමතුම් ලබාදුන්නද දුරකථන නාද වුණා පමණි. කිසිවෙකුගෙන් ඊට පිළිතුරක් නොවීය.
කල් ඉකුත් වූ   ඖෂධ හා ආහාර මෙරටට ගෙන්වා වෙළෙඳ‍පොළට නිකුත් කිරීම  අද ඊයේ සිට මෙරට සිදුවන මාෆියා ජාවාරමක් නොවේ. වරක් විශේෂ ‍පොලිස් කණ්ඩායමක් මෙරට නමගිය වෙළෙඳ ආයතනයක නාමයක් සහිත, මෝදර ප්‍රදේශයේ පිහිටි තොග ගබඩාවක් වටලා එහි තිබි සොයා ගත් ආහාර වර්ග ප්‍රමාණය දහසකට වැඩිය. ඒ සෑම ආහාර වර්ගයක්ම එහි සිට අලෙවියට යැවුනේ සුපිරි වෙළෙඳසල්වලට හා තරු පන්තියේ හෝටල්වලට බවද සඳහන් විය.
මෙම ජාවාරම් සිදුවන ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක්ද ඒ සමගම අනාවරණය වූයේය. යුරෝපීය රටවල ආහාර නිෂ්පාදකයෝ කල් ඉකුත් වීමට ආසන්න තම නිෂ්පාදන විනාශ කිරීම සඳහා වෙළෙඳ‍පොළෙන් ඉවත්කර ගන්නා විට මෙම ජාවාරම්කරුවන්  ඒවා විනාශ කිරීමට යැයි සඳහන් කරමින් ලබාගෙන මෙරටට ගෙන එන බව එදා ඒ කළ වැටලීමේ දී හෙළිවූ කාරණාවකි. මුළු ගොඩනැගිල්ලක් පිරෙන්නට කාමර ප්‍රමාණයේ ශීතාගාරවලින් සමන්විත එම ගඩබා සංකීර්ණයේ ආහාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේද අධීක්ෂණයට ලක් වූ තැනක් බව පැවසිණි. එහෙත් ‍පොලීසිය වටලන තුරු ඒ අයටවත් එම ජාවාරම හසුවූයේ නැත. අල්ලාගත් එම ආහාරවලටද සිදුවූ දෙයක් දැනගන්නට නොවීය. ඒ එම  මාෆියාවේ තරමය.
කොන්දක් ඇතිව රාජකාරිය කළ රේගු අධිකාරිවරයෙකු ලෙස සැලකුණු අනුර ගුණතිලක මහතාට රට අතහැර  යාමට සිදුවන්නේත්, සහකාර  රේගු අධිකාරිවරයෙකු වූ  සුජිත් ප්‍රසන්න පෙරේරා මහතා ඝාතනයට ලක්වන්නේත් මෙම මාෆියාකරුවන්ගේ සැලසුමකට අනුව බව හෙළිදරව් විය. සුජිත් ප්‍රසන්න පෙරේරාට වෙඩි කන්නටත්, අනුර ගුණතිලකට රට අතහැර යන්නටත් සිදුවන විට ඔවුන්ද පරීක්ෂණ පවත්වමින් සිටියේ කල් ඉකුත් වූ ආහාර මෙරටට ගෙන එන ජාවාරමක් ගැනය.
එම මාෆියාව අද වනවිට එදාටත් වඩා බලවත් බවට තොරතුරු පල වෙයි. කල් ඉකුත් වූ  ආනයනික ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය පිට පිටම වාගේ  රට වටෙන්ම මතුවන්නේ එනිසාය. අනාවරණය වන ආකාරයට අනුව කල් ඉකුත් වූ  ඇතැම් ආහාර ද්‍රව්‍ය මෙරටට  ගෙන එන්නේ ඒවා ගෙන එන විදෙස් රට තුළදීම කල් ඉකුත් වීමේ දින වෙනස් කොටය. වරක් තම මිතුරෙකු  යුරෝපීය  රටක සුපිරි වෙළෙඳසල් ජාලයක සේවය කිරීමට ගිය විටෙක ඔහුට පැවරී තිබි ඇත්තේ කල් ඉකුත් වූ ආහාරවල දින මුද්‍රා වෙනස් කොට ඊට අලුත් ‍ලේබලයක් ඇලවීමට  බව අප හිතවත් රේගු නිලධාරියෙකු සඳහන් කළේය. එසේ ‍ලේබල් ඇලවෙන  ආහාර ද්‍රව්‍ය ගබඩාකොට කන්ටේනර්වල බහා අඩු ගානට පැටවෙන්නේ දකුණු ආසියානු රටවලට බව තම මිතුරා පැවසූ බවද ඔහු කීය. ඒ රටවල් අතර ශ්‍රී ලංකාවටද ඇත්තේ ප්‍රමුඛ තැනකි. ඒ ලෝකයේ ඕනෑම රටක  කුණු ගොඩක් භාර ගන්නට සැදී පැහැදුණු කණ්ඩායම් මෙහි සිටින බැවිනි. ඒ අය මිනිස් ජීවිතවල වටිනාකම තුට්ටුවකට මායිම් කරන්නේ නැත. ඔවුන් සියල්ල මනින්නේ රුපියල් ශතවලින්ම පමණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos