පසුගිය දිනෙක දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ සුදු කලිසම් සහ සුදු කමිස හැඳි පාසල් සිසුන් සිවුදෙනකු පෙනී සිටියහ.උපකාරක පන්තියකදී තවත් සිසුවකුට පහරදී තුවාල සිදුකිරීම ඔවුන්ට තිබූ චෝදනාව විය. පහරකෑ සිසුවා මාවරල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මාතර රෝහලට මාරු කර යවා ඇත.
පහරදීමට හේතුව වී ඇත්තේ පහරකෑමට ලක්වූ සිසුවා වෙනත් සිසුවියක් සමඟ කතා කිරීම බව උපකාරක පන්තියේ සිසුන් පවසයි.ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 11 වැනි ශේර්ණියේ අධ්‍යාපනය ලබන මෙම සිසුන් හතරදෙනා උපකාරක පන්තියේදී පහරදීම සිදුකර ඇති අතර පහරකෑ සිසුවාගේ පියා සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකාර සිසුන් හතරදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.පහරකෑමට ලක්වූ සිසුවා කතා කළ ශිෂ්‍යාව සමඟ පහරදුන් සිසුන් හතරදෙනාගෙන් එක් අයකු සමීප ඇසුරක් පවත්වාගෙන යෑමත් පහරකෑ සිසුවා එම ශිෂ්‍යාව සමඟ කතාබහ කොට මිත්‍ර වීමට යන්නේ යැයි සැක සිතා මෙම පහරදීම සිදුකර ඇති බවත් පොලිසියේදී අනාවරණය වී ඇත.
පහරදීම බලවත් වීමෙන් එම සිසුවා තුවාල ලබා ඇත. පාසල් වයසේ පසුවන තරුණයකුගේ පෙම් පලහිලව්ව එසේ නිමාවූයේ සිසුන් හතර දෙනාට බන්ධනාගාර ගතවීමට නියම වීමෙනි.